August 18, 2026

සම්මානනීය ගීත රචක සහ ලේඛක පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් අපවත් වී තිබේ.

අපවත් වනවිට උන්වහන්සේ 76 වන වියෙහි පසුවූහ.

රෝගාතුරවීම හේතුවෙන් රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ මෙලෙස අපවත්වී තිබේ.

ශ්‍රී ලාංකේය සංගීතයට සහ ගීත සාහිත්‍යයට අසමසම මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්, මෙරට ජනාදරයට ලක්වූ ජනප්‍රිය ගීත රැසක පද රචනය කළහ.

උන්වහන්සේගේ නිර්මාණ එකතුවට බෞද්ධ බැති ගීත මෙන්ම විවිධ තේමා යටතේ රචනා වූ ගීතද ඇතුළත් වේ. ලා දළු බෝපත්, මේ ඉර හඳ යට, සඳ තරු මල්, බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති, සෙනෙහස පුදා, බුදු බණ ඇසුවා, මේ ප්‍රේම කතා, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, වෙහෙරක් වගේ, පන්සලේ පල්ලියේ සහ සියක ආයු ලැබ යන ගීත උන්වහන්සේගේ අතිශය ජනප්‍රිය වූ නිර්මාණ අතරින් කිහිපයකි.

1950 මැයි 22 වන දින දෙණියායේ රඹුකන ප්‍රදේශයේදී උපත ලැබූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් සිය ප්‍රාථමික අධ්‍යාපනය මොරවක වැලිව බෞද්ධ මිශ්‍ර පාසලෙන් ලබාගත්හ. පසුව උන්වහන්සේ පැපිලියාන සුනෙත්‍රාදේවී පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය හැදෑරූහ.