August 18, 2026

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කරන්නදගොල්ල ග්‍රාම නිලධාරී වසමේ රාවණා ඇල්ල අභයභූමියේ භූගත ගුහා සංකීර්ණයක පිහිටි නිල් දිය පොකුණ, ආරක්ෂා කළ යුතු දුර්ලභ ස්වාභාවික ජල මූලාශ්‍රයක් ලෙස හඳුනාගෙන ඇත.

එහි ඇති සුවිශේෂී භූ විද්‍යාත්මක ලක්ෂණ හේතුවෙන් මෙම ස්ථානය දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර ද බෙහෙවින් ජනප්‍රිය වී තිබේ.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ, නිල් දිය පොකුණ පරිශ්‍රය අධ්‍යයනය කර එහි කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ අදාළ රාජ්‍ය ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුවේ අධ්‍යයන වාර්තාව පදනම් කරගනිමින්, නිල් දිය පොකුණේ සංචාරක කටයුතු පාලනය කිරීම සඳහා අදාළ නීති රෙගුලාසි සකස් කර ඇති අතර, නීති කෙටුම්පත් සම්පාදක විසින් ද ඒවා පරීක්ෂා කර අනුමත කර ඇත.

ඒ අනුව, වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන යටතේ එකී රෙගුලාසි ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා පරිසර අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම පියවර මගින් මෙම දුර්ලභ ස්වාභාවික පරිසර පද්ධතියේ සංරක්ෂණය තහවුරු වන අතරම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය සහ නියාමනය යටතේ එම ස්ථානයේ සංචාරක කටයුතු පවත්වාගෙන යාමට අවස්ථාව හිමිවනු ඇත.