August 18, 2026

පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින් සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

සමගි ජන බලවේගයට අනුව මෙම නඩුව SC/SD/31/2026 යටතේ ගොනුකර ඇත.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මෙහි පෙත්සම්කරු වන අතර, නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම්කර තිබේ.

යෝජිත සංශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 සිට 65 දක්වාත් දීර්ඝ කිරීමට යෝජනා කර ඇත.

මෙම සංශෝධනයේ ඇතුළත් විධිවිධාන පිළිබඳව කනස්සල්ල පළකර ඇති සමගි ජන බලවේගය, එහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ තීන්දුවක් ලබාගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගිය බව පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කෙරෙන ඕනෑම සංශෝධනයක් මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට, බලතල බෙදීමට සහ ජනතාවගේ අයිතිවාසිකම්වලට සිදුවිය හැකි බලපෑම පිළිබඳව දැඩි ලෙස අවධානය යොමුකළ යුතු බව එම පක්ෂය සඳහන් කළේය.

ධුරයේ සේවය කරන විනිසුරුවරුන්ගේ ධුර කාලය වෙනස් කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට, බලතල බෙදීමට සහ ජනතා පරමාධිපත්‍යයට බලපෑම් එල්ල වන බව රන්ජිත් මද්දුමබණ්ඩාර සිය පෙත්සම මගින් තර්ක කරයි.

විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ විධිවිධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවත්, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සහ ජනමත විචාරණයකදී ජනතාවගේ අනුමැතියකින් තොරව එය නීතියක් බවට පත් විය නොහැකි බවටත් තීන්දු කරන ලෙස පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.