August 18, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ (NHDA) සභාපති ජේ.කේ.ඒ. සිරිනාථ විසින් නිකුත් කරන ලද ලිඛිත නිවේදනයකට අනුව, එම අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාව අනිවාර්ය නිවාඩු යවා තිබේ.

එම නිවේදනයට අනුව, සාමාන්‍යාධිකාරීවරයාව වැටුප් සහිතව අනිවාර්ය නිවාඩු යවා ඇති අතර, එම නිවාඩු කාලය තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කිසිදු කාර්යාලයකට හෝ සේවා ස්ථානයකට ඇතුළු වීම ඔහුට තහනම් කර ඇත.

එසේම, සභාපතිවරයාගේ පූර්ව අනුමැතියකින් තොරව විදේශගත නොවන ලෙසට ද ඔහුට උපදෙස් දී තිබේ.

ආයතන සංග්‍රහය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ විනය නීතිරීති උල්ලංඝනය කරමින් සාමාන්‍යාධිකාරීවරයා විසින් සිදුකරන ලදැයි කියන බරපතල ගණයේ අක්‍රමිකතා කිහිපයක් පිළිබඳව මූලික වශයෙන් තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සනාථ වුවහොත් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජේ.කේ.ඒ. සිරිනාථ පැවසීය.