August 17, 2026

පසුගිය වසරවල සාමාන්‍ය අගයන්ට වඩා වැඩි උෂ්ණත්වයකට ලබන වසරේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෙක් ප්‍රකාශ කරයි.

සමස්ත ලෝකයම සමඟින් ශ්‍රී ලංකාව ද තම ඉතිහාසයේ වාර්තා වන ඉහළම උෂ්ණත්වයට 2027 මාර්තු වන විට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු ‘ඩේලි මිරර්’ පුවත්පතට පවසා ඇත.

“එල්-නිනෝ සංසිද්ධිය හේතුවෙන් මුළු ලෝකයම ඉතිහාසයේ ඉහළම උෂ්ණත්වයට මුහුණ දෙනු ඇතැයි අනාවැකි පළ කර ඇති අතර ශ්‍රී ලංකාවටද එය එලෙසම බලපානු ඇත” යැයි පවසන ඔහු, ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට ආසන්න අගයක් දක්වා ඉහළ යා හැකි බවද පෙන්වාදෙයි.

මෙරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගිය අවසන් වතාව වාර්තා වන්නේ 1983 අප්‍රේල් 10 වැනිදාය. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර පළාත් සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්කවලට මෙයින් දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයිද ඔහු පවසයි.

1991 සහ 2022 අතර වසර 30ක දත්ත පදනම් කරගෙන ගණනය කරන ලද ශ්‍රී ලංකාවේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 33-35 මට්ටමේ පැවති බව ඔහු සඳහන් කළේය.

“මෙය තවදුරටත් ඉහළ යා හැකියි. ඊයේ පෙරේදා, එනම් 2026 ජූලි 25 වන දින ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක උෂ්ණත්වයක් වාර්තා වුණා” යැයි ඔහු සඳහන් කරයි.

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති අධික උණුසුම පිළිබඳ අදහස් දක්වමින් ඔහු පවසන්නේ, එය නිරිතදිග මෝසම් කාලගුණය හේතුවෙන් සිදුවන්නක් බවයි.

පොළොන්නරුව, මාතලේ, මුලතිව්, මොණරාගල සහ ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 සීමාවට ආසන්න වී තිබේ.

කෙසේවෙතත්, කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු පෙන්වාදෙන්නේ, වර්තමානයේ පවතින මෙම උෂ්ණත්ව ඉහළ යෑම නිරිතදිග මෝසම් තත්ත්වය නිසා සිදුවන සාමාන්‍ය සංසිද්ධියක් බවයි.