August 17, 2026

පාසල් නිවාඩු කාලය තුළ සරුංගල් යැවීම හේතුවෙන් සිදුවන අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බැවින් දෙමාපියන් ඇතුළු මහජනතාවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැඩි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

පවතින වියළි කාලගුණයත් සමඟ ළමයින් අතර සරුංගල් යැවීම බෙහෙවින් ජනප්‍රිය වී ඇති නමුත්, නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම නිසා නිතර නිතර තුවාල සිදුවීම් සහ ජීවිතයට පවා තර්ජනයක් වන බරපතල අනතුරු වාර්තා වන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පවසයි.

“සරුංගල් යැවීම විනෝදජනකයි, නමුත් අනාරක්ෂිත ක්‍රම නිසා බරපතල හානි සිදුවිය හැකියි. දෙමාපියන් සහ වැඩිහිටියන් ළමයින්ගේ ආරක්ෂාව කෙරෙහි නිරන්තර අවධානය යොමු කළ යුතුයි” යනුවෙන් වෛද්‍ය රත්නසේකර මහතා අවධාරණය කරයි.

සරුංගල් යැවීමේදී පවතින පහත සඳහන් අවදානම් පිළිබඳවද වෛද්‍ය රත්නසේකර වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

– සමූහ වශයෙන් සරුංගල් යැවීමේදී එකිනෙකා ගැටීම් සහ ඇද වැටීම් බහුලව සිදුවන අතර, ගොඩනැගිලි ඡාත සහ උස් ස්ථානවල සිට සරුංගල් යැවීමට තැත්කිරීමෙන් දැඩි අවදානමක් මතුවේ.

– සරුංගල් නූල් අධි වෝල්ටීයතා විදුලි රැහැන්වල ගැටීමෙන් විදුලිය ගලා ඒම නිසා විදුලි සැර වැදීම් සහ බරපතල පිළිස්සුම් තුවාල සිදුවිය හැක.

– අත්, බාහු සහ පපුව ප්‍රදේශයේ පටක, රුධිර නාළ සහ ස්නායුවලට යථා තත්ත්වයට පත්කළ නොහැකි ලෙස හානි සිදුවී, අදාළ ශරීර කොටස් ශල්‍යකර්ම මගින් කපා ඉවත්කිරීමට පවා සිදුවූ අවස්ථා වෛද්‍යවරුන් විසින් වාර්තා කර ඇත.

– අධිවෝල්ටීයතා රැහැන්වලින් සරුංගල් නූල් හරහා විදුලිය ගමන් කිරීමෙන් ක්ෂණික මරණ පවා සිදුවිය හැක.

ළමයින්ගේ විනෝදාස්වාදය මෙන්ම ඔවුන්ගේ ආරක්ෂාවද එක හා සමානව වැදගත් ලෙස සැලකිය යුතු බව රෝහල් අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

මෙවැනි දරුණු අනතුරු වළක්වා ගැනීම සඳහා වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස දෙමාපියන්ගෙන්, බාරකරුවන්ගෙන් සහ සමස්ත සමාජයෙන් ඉල්ලා සිටිනු ලැබේ.