August 17, 2026

නුවරඑළිය, ග්‍රෙගරි වැවේ ජෙට්ස්කී (Jet Ski) යාත්‍රාවක ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී එය පෙරළීමෙන් දියේ ගිලීමේ දැඩි අවදානමකට ලක්ව සිටි කුඩා දරුවන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකය සමත්ව තිබේ.

මෙම හදිසි මුදාගැනීමේ මෙහෙයුම 2026 අගෝස්තු 16 වැනි දින සිදුකර ඇත.

ග්‍රෙගරි වැව පරිශ්‍රයේ ජීවිතාරක්ෂක රාජකාරි සඳහා යොදවා සිටි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර සහ මුදාගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් අදාළ අනතුර වහා නිරීක්ෂණය කර තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම, අනතුර සිදුවූ ස්ථානය වෙත කඩිනමින් ළඟාවී දියේ ගිලෙමින් සිටි දරුවන් දෙදෙනා නිරුපද්‍රිතව ගොඩගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අනතුරින් බේරාගෙන ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 11 සහ 13 පසුවන කුඩා දරුවන් දෙදෙනෙකි.

නාවික හමුදා මුදාගැනීමේ කණ්ඩායම විසින් එම දරුවන් දෙදෙනා ආරක්ෂිතව වැඩිදුර කටයුතු සඳහා නුවරඑළිය පොලීසිය වෙත භාරදී තිබේ.