August 17, 2026

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් පොළොන්නරුව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

2006 දෙසැම්බර් 15 වැනිදා කොළඹ අධි ආරක්ෂක කලාපයක පැවති සම්මන්ත්‍රණයකට සහභාගී වී ආපසු යමින් සිටියදී අතුරුදන් වූ මහාචාර්ය රවීන්ද්‍රනාත් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ විමර්ශනයක් පවත්වන ලදී.

ඒ අනුව 2025 අප්‍රේල් 8 වැනි දින පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් අතර, රැඳවුම් නියෝග මත දින 359ක් පුරා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව 2026 අප්‍රේල් 2 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

එහිදී හෙළිදරව් වී ඇත්තේ අදාළ උපකුලපතිවරයාව පොළොන්නරුව සෙවණපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රහසිගත කඳවුරකට පැහැරගෙන ගොස් ඝාතනය කර, සිරුර පුළුස්සා දමා ඇති බවයි.

අදාළ සෙවණපිටිය කඳවුර පවත්වාගෙන යෑම සඳහා කිසිදු නිල අනුමැතියක් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ලබාදී නොමැති බව ජාතික බුද්ධි ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත තහවුරු කර ඇත.

නීතිපතිවරයා විසින් මෙම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙලෙස මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.