August 17, 2026

ශ්‍රී ලංකාවට පැමිණි ඉහළ මට්ටමේ ඕමාන් නියෝජිත පිරිසක් වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විසින් සංවිධානය කරන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකදී රසවත් සිදුවීමක් වාර්තා වී තිබේ. ඕමානයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ විදේශ වෙළෙඳ සහ අන්තර්ජාතික සහයෝගිතා උපදේශක පංකාජ් කිම්ජි ඇතුළු නියෝජිත පිරිස මෙලෙස ලංකාවට පැමිණ සිටියහ.

භෝජන සංග්‍රහය අතරතුරදී ශ්‍රී ලංකාවේ පවතින හරිතමය පරිසරය, පොල් වගාවන් සහ තේ වතු දැකීමෙන් දැඩි ලෙස වශී වී ඇති ඕමාන් නියෝජිතයා පවසා ඇත්තේ, ඕමානයද ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් ස්වයං වගාවන් ආරම්භ කිරීමට උත්සාහ කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් පොල් පැළ සහ තේ පැළ ලබාගැනීමට අවශ්‍ය බවත්ය.

එම ඉල්ලීමට ශ්‍රී ලංකා පාර්ශ්වය වහාම එකඟ වී පොල් පැළ ලබාදීමට කැමැත්ත පළකර ඇති නමුත්, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් විහිළුවක් කරමින් පවසා ඇත්තේ ඕමානයට තේ පැළ ලබා දීමේදී දෙපාරක් සිතා බැලිය යුතු බවයි. ඕමානය ශ්‍රී ලාංකික තේ වැඩි වශයෙන් මිලදී ගන්නා රටක් බැවින්, ඔවුන්ම තේ වගා කළහොත් ලංකාවේ තේ ව්‍යාපාරයට ලැබෙන ආදායම අහිමි වී යා හැකි බව අමාත්‍යවරයා පවසා ඇත.

පැළ සහ ගස්කොළං පිළිබඳ මාතෘකාව මුල්කරගනිමින් දෙපාර්ශ්වයේම සිනා හඬ මැද මෙම රාත්‍රී භෝජන සංග්‍රහය ඉතා සුහදව නිමාවට පත්වූ බව වාර්තා වේ.