August 17, 2026

තරුණ තරුණියන්ගේ වෘත්තීය අධ්‍යාපනය සහ තාක්ෂණික කුසලතා වෙනුවෙන් අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, වෘත්තීය පුහුණුව හැදෑරීමට උනන්දුවක් දක්වන සිසුන් වෙනුවෙන්ම වෙන්වුණු GuideMe නමැති නව ජංගම දුරකථන යෙදවුම (App) ඇය විසින් නිල වශයෙන් එළිදක්වන ලදී.

කොළඹදී සාර්ථකව නිමාවට පත්වුණු GIZ Vocational Training in Sri Lanka (VTSL) දෙවැනි අදියරේ ව්‍යාපෘති සමාප්ති උළෙලේදී මෙම ඇප් එක එළිදැක්වීම සිදුකෙරිණි.

ජර්මන් රජයේ GIZ ආයතනය (BMZ හරහා) සහ ස්විට්සර්ලන්ත සංවර්ධන හා සහයෝගිතා නියෝජිතායතනය (SDC) එක්ව ශ්‍රී ලංකාවේ තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම උදෙසා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබිණි.

මෙම උත්සවයේ විශේෂත්වය වූයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් කෘත්‍රිම බුද්ධිය (AI) සහ නවීන තාක්ෂණික මෙවලම් (Virtual Reality / High-tech gear) අත්හදා බලමින් ඒ පිළිබඳව පෞද්ගලිකවම උනන්දුවක් දැක්වීමයි.

එම අවස්ථාවේ ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයේ බොහෝදෙනාගේ අවධානයට ලක්වෙමින් පවතී.