August 16, 2026

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තමන්ට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකිරීමට එරෙහිව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙට්‍රෝ බස් (Metro Bus) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් කළ ප්‍රකාශයකින් අනතුරුව, විවිධ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ තමන්ව ඉලක්ක කරගනිමින් මෙලෙස අපහාසාත්මක අදහස් පළකර ඇති බව පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කරයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ගැමුණු විජේරත්න පවසා සිටියේ මෙට්‍රෝ බස් සංකල්පය අලුත් එකක් නොවන බවත්, මීට පෙරද තමන් විසින් එවැනි ව්‍යාපෘතියක් ප්‍රවාහන අමාත්‍යාංශය වෙත යෝජනා කර තිබූ බවත්ය.

2023 ආර්ථික අර්බුදයෙන් පසුව රජයේ මුදල් වෙනුවට චීන එක්සිම් (EXIM) බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා මෙම යෝජනාවලිය සකස් කළ බවද ඔහු පැවසීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී ද මෙවැනිම වැඩසටහනක් ආරම්භ කළ නමුත්, විශාල මුදලක් වැයවීමෙන් සහ පාඩු සිදුවීමෙන් පසු එය අතහැර දැමූ බව ඔහු මෙහිදී සිහිපත් කළේය.

තවද, මෙම මෙට්‍රෝ බස් සේවාව සඳහා යෝජිත බස් රථවලට සමාන බස් රථ මීට වසර 10 කට පමණ පෙර පෞද්ගලික සමාගමක් විසින් මෙරටට ආනයනය කර තිබූ බවද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ගැමුණු විජේරත්න සඳහන් කරන ආකාරයට, එකල එවැනි බස් රථ 60 ක් පමණ ආනයනය කර ඇති අතර, ඊට සමාන තවත් බස් රථ 20 ක් පමණ දැනටමත් පනාගොඩ ප්‍රදේශයේ පිහිටි ස්ථානයක රඳවා ඇත.

ඒ අනුව යෝජිත මෙට්‍රෝ බස් ව්‍යාපෘතියේ ප්‍රායෝගික හැකියාව සහ එහි නඩත්තු හා මෙහෙයුම් පිරිවැය, විශේෂයෙන්ම ඉන්ධන පාරිභෝජනය සම්බන්ධයෙන් ප්‍රශ්න කළ ඔහු, මෙම සංකල්පය කිසිසේත්ම අලුත් එකක් නොවන බව නැවතත් අවධාරණය කළේය.