August 16, 2026

ඉන්ධන ආනයනය සඳහා දැනට දැරීමට සිදුවන අධික වියදම් සමාලෝචනය කිරීමෙන් අනතුරුව, රජයෙන් නැවත සහනාධාරයක් ලබාදෙන ලෙස හෝ ඉන්ධන මිල සංශෝධනයක් ඇතුළු විකල්ප පියවර නිර්දේශ කිරීමට බලශක්ති අමාත්‍යාංශය සූදානම් වේ.

‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසා ඇත්තේ, ලෝක වෙළඳපොළේ පෙට්‍රල්, ඩීසල් සහ අමුතෙල් මිල ඉහළ යාම ආනයන වියදම් කෙරෙහි ඍජුවම බලපා ඇති බැවින් ඉදිරි සති දෙක ඇතුළත මේ පිළිබඳව සමාලෝචනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි.

මෙම සමාලෝචනයෙන් පසුව, මීට පෙර රජය විසින් ලබාදී පසුව අත්හිටුවන ලද රුපියල් බිලියන 15 ක සහනාධාරය නැවත ඉල්ලා සිටීමට හෝ පාඩුව පියවාගැනීම සඳහා ඉන්ධන මිල සංශෝධනය කිරීම වැනි විකල්ප වෙත යොමුවීමට අමාත්‍යාංශයට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

පසුගිය මාසික ඉන්ධන මිල සංශෝධනය ජූනි මාසයේදී සිදුකර ජූලි මාසයේ සිට ක්‍රියාත්මක වූ බවත්, මෙම මාසයේදී මිල සංශෝධනයක් සිදු නොකළ බවත් අමාත්‍යවරයා පෙන්වාදී තිබේ.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සඳහන් කර ඇත්තේ, බටහිර ආසියානු යුද්ධය ආරම්භ වූ පෙබරවාරි මාසයට වඩා ඉන්ධන මිල සියයට 48 කින් ඉහළ ගොස් ඇති අතර, විශේෂයෙන්ම ඩීසල් මිල වේගයෙන් ඉහළ යමින් පවතින බවයි.

ඊට අමතරව රක්ෂණ ගාස්තු සහ ප්‍රවාහන වියදම්ද ඉහළ ගොස් ඇති බව පවසන සභාපතිවරයා, ඉන්දියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව සහ වෙනත් රටවල සැපයුම්කරුවන්ගෙන් තෙල් ලැබුණද, මෙලෙස මිල ගණන් ඉහළ යාම දැඩි කනස්සල්ලට කරුණක් බවද වැඩිදුරටත් කියාසිටියි.