August 15, 2026

එල් නිනෝ තත්ත්වය හේතුවෙන් පවතින අධික උණුසුම් කාලගුණය, මානසික රෝග වාර්තා වීම ඉහළ යාමට හේතු වී ඇති බව ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් අනතුරු අඟවයි.

දීර්ඝ වේලාවක් හිරු එළියට නිරාවරණය වීමෙන් ශරීර උෂ්ණත්වය ඉහළ යන අතර, එය මානසික සෞඛ්‍යයට සෘජුවම බලපාන බව ඔහු පැහැදිලි කළේය.

විද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මෙවැනි කාලගුණික තත්ත්වයන් මගින් මිනිසුන් තුළ කෝපය වැඩිවීම, ඉවසීමේ හැකියාව අඩුවීම සහ අන් අය සමඟ ගැටුම් ඇති කරගැනීමේ ප්‍රවණතාව ඉහළ යන බවයි.

මෙම තත්ත්වයන් පසුව බරපතල මානසික ගැටලු දක්වා වර්ධනය විය හැකි බවද ඔහු පෙන්වාදෙයි.

මෙමගින් විශේෂයෙන්ම ළමයින් සහ වයෝවෘද්ධ පුද්ගලයන් වැඩි අවදානමකට ලක්වන අතර, රියදුරන් අතර මග තොටේදී ඇතිවන ආවේගශීලී බව සහ නිවාස තුළ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ඉහළ යාමේ ප්‍රවණතාවක් ද පැවතිය හැකිය.

මීට පෙර සිටම මානසික රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ මානසික තත්ත්වය තද රස්නය හමුවේ තවත් නරක අතට හැරීමට ඉඩ ඇති බව වෛද්‍ය රූබන් වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවදානමින් බේරීම සඳහා සෘජු හිරු එළියට නිරාවරණය වීම හැකිතාක් අඩු කරන ලෙසත්, වැඩිපුර ජලය පානය කරන ලෙසත් ප්‍රායෝගික පියවරයන් ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටියි