August 13, 2026

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (I ශ්‍රේණිය) තනතුර සඳහා පුද්ගලයන් තේරීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී, අසාධාරණ, පක්ෂපාතී මෙන්ම දුෂිත අරමුණු සහිතව සිදුකර ඇති බවට නිගමනය කළ අභියාචනාධිකරණය, එම තනතුර සඳහා බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය) ආචාර්ය ඉරෝමි නිසංසලා මැණිකේ ආරියරත්න පත්කරන ලෙස නියෝග කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මෙම තේරීම් ක්‍රියාවලිය අභියෝගයට ලක්කරමින් ආචාර්ය ඉරෝමි නිසංසලා විසින් රිට් පෙත්සමක් ගොනුකර තිබිණි.

ඒ අනුව ආර්. ගුරුසිංහ සහ ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර යන විනිසුරු මඬුල්ල විසින්, ආචාර්ය ඉරෝමි එම තනතුරට පත්නොකිරීමට ගෙන තිබූ තීරණය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර ඇත.

ඇය විසින් මෙම පෙත්සම ගොනුකළ 2022 සැප්තැම්බර් 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි ඇයව එම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය I ශ්‍රේණියේ තනතුරට පත්කරන ලෙස අධිකරණය විශ්වවිද්‍යාලයට නියෝග කළේය.

එමෙන්ම, මෙහි 33 වැනි වගඋත්තරකරුට ලබාදී තිබූ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය (II ශ්‍රේණිය) පත්වීම ද අධිකරණය විසින් අහෝසි කර ඇත.

කෙසේවෙතත්, 32 වැනි වගඋත්තරකරු වූ පූජ්‍ය ආචාර්ය දිවුලපැලැස්සේ විමලානන්ද හිමියන්ට ලබා දී තිබූ II ශ්‍රේණියේ පත්වීම තහවුරු කළ අධිකරණය, උන්වහන්සේගේ පත්වීම ද 2022 සැප්තැම්බර් 22 දින සිට පූර්වගාමීව බලපැවැත්වෙන පරිදි සකස් කරන ලෙස දැනුම්දුන්නේය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක (II ශ්‍රේණිය) ලෙස සේවය කරන ආචාර්ය ආරියරත්නද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කළ මෙම බඳවාගැනීමේ ක්‍රියාවලියට එරෙහිව නීතිමය පියවර ගෙන තිබිණි.

මෙම පෙත්සම සලකා බැලූ අධිකරණය නිරීක්ෂණය කළේ, I ශ්‍රේණියේ තනතුර සඳහා සුදුසුකම් ලැබූ එකම අපේක්ෂිකාව ඇය වූ බවත්, බෞද්ධ අධ්‍යයනය පිළිබඳ විශේෂිත අධ්‍යයන සුදුසුකම් ඇය සතුව තිබූ බවත්ය.

එමෙන්ම, ඇය බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ප්‍රථම පන්තියේ ගෞරව උපාධියක් සහ පශ්චාත් උපාධියක් හිමිකරගෙන ඇති අතර වසර 12 කට වැඩි අධ්‍යයන අත්දැකීම් ප්‍රමාණයක් ද සතුව තිබූ බව අධිකරණය අවධානයට ගත්තේය.

තේරීම් ක්‍රියාවලියට අදාළ තත්ත්වයන් පරීක්ෂා කළ අධිකරණය, තීරණ ගැනීමේ ක්‍රියාවලිය නීතිවිරෝධී බවත්, පක්ෂපාතී සහ අසාධාරණ ලෙස සිදුව ඇති බවත්, එම නිසා අධිකරණයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත් නිගමනය කළේය.

පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සමඟ රන්මලී මීපාගල පෙනීසිටියහ.