August 13, 2026

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විනිසුරුවන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාගරට් සැටර්ත්වේට් සිය කනස්සල්ල පළකර තිබේ. මෙම පියවර අධිකරණයේ ස්වාධීනත්වයට සහ මහජන විශ්වාසයට බරපතල ලෙස බලපෑ හැකි බවට ඇය අනතුරු අඟවන්නීය.

අගෝස්තු 7 වැනි දින ශ්‍රී ලංකා රජය වෙත යොමුකරන ලද නිල ලිපියක් මගින් ඇය පෙන්වාදෙන්නේ, යෝජිත සංශෝධනය අධිකරණ ස්වාධීනත්වය සහ සාධාරණ නඩු විභාගයක් සඳහා වන අයිතිය පිළිබඳ අන්තර්ජාතික මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවිය හැකි බවයි. මෙම යෝජනාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ නැංවීමට නියමිතය. මෙම වෙනස අනාගතයේ පත්වන විනිසුරුවන්ට පමණක් නොව, දැනට සේවයේ නියුතු විනිසුරුවන්ට ද අදාළ වන පරිදි සකස් කර තිබීම විශේෂ අවධානයට ලක්ව ඇත.

විනිසුරුවන්ගේ දැනුම හා පළපුරුද්ද ආරක්ෂා කරගැනීම වැනි කරුණු මත විශ්‍රාම වයස දීර්ඝ කිරීම සාධාරණීකරණය කළ හැකි වුවද, විධායකය සහ ව්‍යවස්ථාදායකය මගින් සිදුවන බලපෑම් වැළැක්වීමට තදබල ආරක්ෂණ ක්‍රමවේද සහ පූර්ණ සංවාද පැවැත්වීම අත්‍යවශ්‍ය බව ඇය සඳහන් කරයි. පැහැදිලි සංක්‍රාන්ති විධිවිධාන නොමැති වීම මගින්, මෙම සංශෝධනය සාධාරණ නීතිමය රීතියක් සකස් කිරීමට වඩා යම් යම් පුද්ගලික හෝ ආයතනික අරමුණු වෙනුවෙන් අධිකරණයේ සංයුතිය වෙනස් කිරීමට දරන උත්සාහයක් ලෙස මහජනතාවට පෙනී යා හැකි බව ඇය පෙන්වාදෙයි.

තවද, මෙම සංශෝධනයෙන් ප්‍රතිලාභ ලබන විනිසුරුවන්ටම ඉදිරියේදී මෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලභාවය තීරණය කිරීමට සිදුවුවහොත්, එහිදී මතුවිය හැකි නීතිමය සහ පරස්පර විරෝධී තත්ත්වයන් (Conflict of Interest) අධිකරණයේ අපක්ෂපාතීත්වය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු කිරීමට හේතු විය හැක.

එබැවින්, ප්‍රමාණවත් සාකච්ඡාවකින් තොරව සිදුකරන මෙවැනි හදිසි වෙනස්කම් අධිකරණ ස්වාධීනත්වයට දැඩි තර්ජනයක් වන බැවින්, සමස්ත විනිසුරුවන්, නීතිඥ සංගමය, සිවිල් සමාජය සහ විද්වතුන්ගේ අදහස් ලබා ගනිමින් විනිවිද පෙනෙන හා පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ඔස්සේ මෙය සිදුකරන ලෙසත්, දැනට සේවයේ නියුතු විනිසුරුවන්ට මෙය අදාළ කිරීමට හේතු වූ පදනම පැහැදිලි කරන ලෙසත් ඇය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නීය.