August 13, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් විසින් යවන ලද ලිපියට ජනාධිපතිවරයා වෙතින් මෙතෙක් කිසිදු පිළිතුරක් ලැබී නොමැති බව සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රකාශ කරති.

මහනුවරදී මානව හිමිකම් සංවිධානයක නියෝජිතයන් පිරිසක් හමු වූ අවස්ථාවේදී අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ, අතීතයේ සිටම ජාතික වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව මහා සංඝරත්නය විසින් පාලකයන්ට වාචිකව මෙන්ම ලිඛිතව ද උපදෙස් ලබාදුන් බවයි.

“අතීතයේ මෙවැනි වෙනත් අවස්ථාවලදී ලිපිය ලැබුණු බවට හෝ පිළිගැනීමේ සටහනක් එවනු ලැබුවා. නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් අද වන තුරුත් අපට කිසිදු පිළිතුරක් ලැබී නැහැ. අවම වශයෙන් එම ලිපිය ලැබුණේද නැද්ද යන්න පවා අපට දැනුම් දී නැහැ” යැයි උන්වහන්සේ පවසති.

එම හමුවේදීම අදහස් දැක්වූ එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ සුභාෂණ සුබ්බවික්‍රම පැවසුවේ, ලෝකයේ බොහෝ රටවල විනිසුරුවරුන්ගේ ධුර කාලය වයස අවුරුදු 60 සීමාවෙන් ඔබ්බට පවතින බැවින් ශ්‍රී ලංකාවේද විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීම ගැටලුවක් නොවන බවයි.