August 12, 2026

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රජය නැවත සිතා බලනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය බලාපොරොත්තු පළ කරයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවෙන් පසු ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ රාජීව් අමරසූරිය සඳහන් කළේ යෝජිත සංශෝධනයට නීති ක්ෂේත්‍රය විරුද්ධ වීමට හේතු සාධක ජනාධිපතිවරයා වෙත දීර්ඝ ලෙස පැහැදිලි කළ බවයි.

මෙම නීතිඥ සංගම් නියෝජිත පිරිසට ජනාධිපති නීතිඥවරුන්, හිටපු නීතිඥ සංගම් සභාපතිවරුන්, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර සහ ලාල් විජේනායක ඇතුළු අධ්‍යාපනඥයින් හා නීති විශාරදයින් ඇතුළත් වූ බව ද ඔහු පැවසීය.

ඉතා යහපත් හා විවෘත මට්ටමින් පැවැති මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ද සිය ස්ථාවරය සහ අදහස් පැහැදිලි කළ බව ද රජීව් අමරසූරිය ප්‍රකාශ කළේය.

නීතිඥ සංගමයේ අවසන් ඉල්ලීම වූයේ මෙවැනි සංශෝධනයක් සිදු කරන්නේ නම්, එය නීති ක්ෂේත්‍රය පමණක් නොව මේ පිළිබඳව අධ්‍යයනය කර ඇති අධ්‍යාපනඥයින්, පර්යේෂකයින් ඇතුළු පුළුල් විශාරද මණ්ඩලයකගේ උපදෙස් හා සාකච්ඡාවන්ගෙන් පසුව පමණක් සිදු කළ යුතු බවයි.

මෙම ස්ථාවරය කිසිදු පුද්ගලයෙකුට එරෙහිව ගත් එකක් නොවන බවත්, මෙය කිසිසේත්ම ගැටුමක් ලෙස නොසැලකිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. “මේක කාටවත් එරෙහිව කරන සටනක් නෙමෙයි,” යනුවෙන් පැවසූ ඔහු සාකච්ඡාවේදී දෙපාර්ශවයම සිය අදහස් ඉදිරිපත් කළ බව ද කියා සිටියේය.

මෙම සාකච්ඡාව හරහා පුළුල් සංවාදයකට මග පෑදෙනු ඇති බවත්, අවසන් තීරණයක් ගැනීමට පෙර යෝජිත සංශෝධනය පිළිබඳව නැවත සිතා බැලීමට ඉඩකඩ ලැබෙනු ඇති බවත් නීතිඥ සංගමය බලාපොරොත්තු වන බව රජීව් අමරසූරිය පැවසීය.

මේ අතරවාරයේ විනිසුරුවරුන්ට එල්ල වන පෞද්ගලික විවේචන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු කියා සිටියේ කිසිදු පුද්ගලයෙකුට එරෙහිව එල්ල වන පෞද්ගලික විවේචන හෝ ප්‍රහාර නීතිඥ සංගමය අනුමත නොකරන බවයි.

දෙපාර්ශවය අතර යම් එකඟතාවකට පැමිණියේදැයි විමසූ විට, එවැනි අවසන් තීරණයකට එළඹ නැති නමුත් පැවැති සාකච්ඡා පිළිබඳව සුබවාදීව බලපොරොත්තු තබාගත හැකි බව ඔහු සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ බලය රජයට හිමි වුවද, යම් පියවරක් වැරදි බව විශ්වාස කරන්නේ නම් ඊට විරුද්ධත්වය පළ කිරීමේ අයිතිය නීතිඥ සංගමයට ද ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් පෙනී සිටි පරිණත දේශපාලන නායකයෙකු ලෙස ජනාධිපතිවරයා තමන් මතු කළ කරුණු කෙරෙහි සංවේදීව අවධානය යොමු කරනු ඇතැයි නීතිඥ සංගමය බලාපොරොත්තු වන බව ද අමරසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.