July 17, 2026

රටේ පාලන බලය ගෙන යාමේදී ගැටලු පවතින්නේ වත්මන් ආණ්ඩුවට පමණක් නොව සෑම ආණ්ඩුවකටම ගැටලු මතුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් ඔස්සේ විකාශය වූ දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් පළ කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ ආර්ථික හෝ ජාතික වශයෙන් වුවද පවතින ගැටලු සඳහා පිළිතුරු සෙවිය යුතු වන්නේ කොටස් වශයෙන් නොව සියලුදෙනා එක්ව ප්‍රශ්න විවෘතව සාකච්ඡා කර විසඳා ගත යුතු බවයි.

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කප්පාදු කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා පැවසුවේ රටේ ජනතාවගේ කුසගින්නට විසඳුම් ලැබී තිබේ නම්, ජනතාව මානසික වශයෙන් සතුටින් සිටී නම් එවැනි පියවර සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බවයි.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සිදු කළ සමීක්ෂණයකින් අනතුරුව නිකුත් කළ වාර්තාවකට අනුව රටේ ජනගහනයෙන් සියයට 62 ක් රජයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තෘප්තිමත් බව සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සිදු කළ අනාවරණ පිළිබඳව ද මන්ත්‍රීවරයා එහිදී අදහස් පළ කළේය.

”ඔය වගේ සංඛ්‍යාලේඛන තුළ දැන් ලක්ෂ 67 කින් හරි අඩකට අස්වැසුම ලැබෙන තත්වයක් තිබෙනවා. තව ලක්ෂ 06 ක් එකතු වෙන්න ඕනේ කියලා ඉල්ලුම් කරලා තිබෙනවා. ඔය කියන්නේ එක ආයතනයක් නේ. එතකොට අයි එම් එෆ් එක අනුව මේකෙ ලක්ෂ 04 ක් අඩුවෙනවා වගේම තව ලක්ෂ 4 ක් එකතු වෙන්න තියෙනවා. නමුත් 28 වෙනකම් මේක වෙන්නෙ නෑ කියලා තමයි කියලා තියෙන්නේ. ඕක තුළ කියනවද දුගී දුප්පත්කම නැතිවෙනවා කියලා.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.