July 16, 2026

මත්තල අන්තර්ජාතික ගුවන් තොටුපොළ දිනකට රුපියල් මිලියන 6-7ක පාඩුවක් ලබන අතර, එය වාර්ෂිකව රුපියල් බිලියන 4කට ආසන්න වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී තිබේ.

ඊයේ (15) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී නිලධාරීන් පැවසුවේ මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ආයෝජන යෝජනා කැඳවා ඇති අතර, එම ක්‍රියාවලිය 2027 වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 ප්‍රගතිය සහ 2027 අයවැය ප්‍රතිපාදන පිළිබඳව මෙහිදී සමාලෝචනය කර ඇත.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගම ඇතුළු ආයතන රැසක් මෙහිදී ඇගයීමට ලක්ව තිබේ.

ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක වන කන්කසන්තුරේ වරාය ප්‍රතිසංස්කරණය, කොළඹ වරාය සැපයුම් උද්‍යානය සහ වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය වැනි ව්‍යාපෘති පිළිබඳවද ජනපතිවරයා දැනුවත් කර ඇත.

ගුවන් සේවා ක්ෂේත්‍රයේදී, බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ (BIA) මගී ධාරිතාව 2055 වන විට මිලියන 24.2ක් දක්වා ඉහළ නැංවීමේ දිගුකාලීන සැලසුම් සහ 2027 දී අවසන් වන දෙවන අදියරේ සංවර්ධන කටයුතු පිළිබඳව අවධානය යොමුව තිබේ.

තවද, ඩිජිටල් කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව ගුවන් තොටුපළ සේවා සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීමට පියවර ගන්නා බව නිලධාරීන් පවසා ඇත.

යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොළේ පහසුකම් වැඩිදියුණු කිරීම සහ හිඟුරක්ගොඩ ඇතුළු දේශීය ගුවන් තොටුපළ සංවර්ධනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබේ.