July 16, 2026

රජයට හිමිවිය යුතු බදු ආදායම නියාමනය කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස යොදාගනිමින් වෙළෙඳපොළට නිකුත් කළ මත්පැන් බෝතල් සහ නිෂ්පාදනාගාර පිළිබඳ වැටළීම් රැසක් පසුගිය සමය පුරාම වාර්තා විය. එහි නවතම පියවරක් ලෙස, නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ ව්‍යාජ ආරක්ෂිත ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ වයස අවුරුදු 43ක සැකකරුවකු මුලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නැගෙනහිර නාවික විධානයට අයත් ‘ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය’ ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) එක්ව සිදුකළ ඒකාබද්ධ විශේෂ වැටළීමකදී මෙම සැකකරු සහ මත්පැන් තොගය අත්අඩංගුවට පත්ව ඇත.

මීට පෙර පසුගිය ජුනි 28 වැනිදා ද මාළඹේ සුදර්ශනරාම මාවතේදී බස්නාහිර පළාත් උතුරු දිශා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් නීතිවිරෝධී මත්පැන් ස්කාගාරයක් වටළා ඇත. එහිදී ප්‍රධාන සැකකරු වශයෙන් යුද හමුදා මේජර්වරයකු ඇතුළු සැකකරුවන් හයදෙනෙකු නීතිවිරෝධී මත්පැන් සහ නිෂ්පාදන උපකරණ ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

එම ප්‍රධාන සැකකරුගේ පාපොච්චාරණයට අනුව මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනාවරණය වී ඇත්තේ, මත්පැන් බෝතල් සඳහා යොදන ආරක්ෂිත ස්ටිකර් ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේදී මුද්‍රණය කර මෙරට නියෝජිතයකු වෙත ලැබී ඇති බවයි. මත්පැන් නිෂ්පාදනය සඳහා අවශ්‍ය එතනොල් ලබාගෙන ඇත්තේ කුරුණෑගල ප්‍රබල දේශපාලනඥයකුගේ ලේකම්වරයෙකුගේ සහයෝගය ඇතිව බව ද හෙළි වී තිබේ.

විමර්ශන අංශ සැකපළ කරන්නේ මෙම ව්‍යාජ මත්පැන් බෝතල්වල අලවා තිබූ ස්ටිකර් නීත්‍යානුකූලව අදාළ සමාගමෙන් හෝ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් පිටතට ගිය ඒවා ද යන්න පිළිබඳවයි. මන්දයත්, අදාළ බෝතල් තුළ තිබී ඇත්තේ ව්‍යාජ සහ බාල තත්ත්වයේ මත්පැන් වුව ද, ඒවායේ අලවා තිබූ ආරක්ෂිත ස්ටිකර් සැබෑ (නියම) ස්ටිකර් බවට තොරතුරු වාර්තා වන බැවිනි. එවැනි ව්‍යාජ නිෂ්පාදන තවදුරටත් වෙළෙඳපොළ තුළ පවතීදැයි සෙවීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇලවීමේ ක්‍රමවේදය රජයට ලැබිය යුතු බදු ආදායම තක්සේරු කිරීම සඳහා 2016 වසරේ සිට ක්‍රියාත්මක වන්නකි. රජයේ ටෙන්ඩරයක් මඟින් මෙම වටිනා අවස්ථාව මේ වන විට හිමිකරගෙන ඇත්තේ ‘මැඩ්‍රාස් සෙක්‍යුරිටි ප්‍රින්ටර්ස්’ (Madras Security Printers) නම් සමාගමයි.

කෙසේවෙතත්, ඉන්දියාව, බංග්ලාදේශය, කෙන්යාව, ලයිබීරියාව, පිලිපීනය සහ සුඩානය වැනි රටවල ද මීට සමාන වංචාවන් සිදු කිරීම හේතුවෙන් ලොව බොහෝ රටවල් විසින් අසාදු ලේඛනගත කර ඇති මෙම කුප්‍රකට සමාගම, මෙරට ආරක්ෂිත ස්ටිකර් ක්‍රියාවලියට වසර 7ක් පුරා සම්බන්ධ වී සිටී. වසර 7කට අධික කාලයක් රජයන් 3ක් යටතේ සිය කටයුතු සිදුකළ මෙම සමාගම, එළඹෙන වසරේදී අලුත් කිරීමට නියමිත ආරක්ෂිත ස්ටිකර් ටෙන්ඩරය ද ලබා ගැනීමට මේ වන විට සූදානමින් සිටින බව වාර්තා වේ.