July 16, 2026

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී රජයේ නීතිඥ ඔස්වල්ඩ් පෙරේරා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා දිනයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

මෙම නඩුවේ දෙවැනි විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් සම්බන්ධයෙන් පැමිණිල්ලේ ස්ථාවරය එහිදී දැනුම්දීමට අපේක්ෂා කරන බවත්, අධිචෝදනා පත්‍රයට සිදුකරන සංශෝධන එහිදී දැනුම් දීමට කටයුතු කරන බවත් රජයේ නීතිඥවරයා පැවසීය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා මෙම නඩුකරය පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා අගෝස්තු මස 31 වැනිදා කැඳවීමට නියම කළේය.

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 59 කට ආසන්න මුදලක් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුකරය ගොනුකර තිබේ.