July 15, 2026

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් මස 07 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනීසිටි එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අසිත ඇන්තනිගේ මෙහෙයවීම යටතේ ලංකා පොහොර සමාගමේ හිටපු ප්‍රසම්පාදන විධායක නිලධාරිනී දීපිකා ඩයස් සාක්ෂි ලබාදුන්නාය. 2014 වසරේ තමන් එම අංශයේ සේවය කරන සමයේ එහි ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් විත්තිකාර කුමාර ජයකොඩි කටයුතු කළ බව ඇය පැවසුවාය.

පොහොර සමාගමේ ගබඩා සංකීර්ණයට කාපට් ඇතිරීම සඳහා ලංසු කැඳවීමෙන් අනතුරුව, නිසි ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් අවම ලංසුව ඉදිරිපත් කළ ‘ඩී.එස්. කන්ස්ට්‍රක්ෂන්’ නමැති ආයතනය ඒ සඳහා තෝරාගෙන තිබේ.

2014 පෙබරවාරි 18 වැනිදා අදාළ ගිවිසුම් අත්සන් කර ඇති අතර, එහිදී අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් 8,859,708/- ක මුදලක් අදාළ සමාගමට ගෙවා ඇත. එහෙත් එම ක්‍රියාවලිය හරහා කිසිදු කාපට් ඇතිරීමක් සිදුනොවූ බව සාක්ෂිකාරිය අනාවරණය කළාය.

විත්තිකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මතුකළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සාක්ෂිකාරිය කියාසිටියේ, මේ පිළිබඳව පැවති අභ්‍යන්තර පරීක්ෂණයේදී තමන් ලබාදුන් කටඋත්තරයේ ඇතැම් කරුණු ගැන අවබෝධයක් නොතිබූ බැවින්, වරින් වර විත්තිකාර කුමාර ජයකොඩි හමුවී කරුණු දැනගෙන එම කටඋත්තර ලබාදුන් බවයි.

සාක්ෂි විභාගය අතරතුරදී විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසම වෙත වැදගත් ප්‍රශ්නයක් යොමුකරන ලදී:

“මෙම කාපට් ඇතිරීමේ කටයුතු සඳහා අදාළ සමාගම තෝරාගත් ප්‍රසම්පාදන කමිටුවේ විත්තිකරු ඇතුළුව සාමාජිකයන් සිව්දෙනකු සිටි බව සාක්ෂිවලින් අනාවරණය වුණා. එහි සෙසු සාමාජිකයින් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් නොකළේ ඇයි?”

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියාසිටියේ සෙසු සාමාජිකයින් මෙම කටයුතුවලට සහාය වීම පමණක් සිදුකර ඇති බවයි.

නඩුවේ තවත් සාක්ෂිකරුවෙකු වූ ලංකා පොහොර සමාගමේ විශ්‍රාමික මුදල් කළමනාකරු පී. සමරවීර සාක්ෂි දෙමින් කියාසිටියේ, කාපට් ඇතිරීමේ කටයුත්තට සම්බන්ධ වූ පෞද්ගලික සමාගමට රුපියල් 8,859,708/- ක අත්තිකාරම් මුදල ගෙවනු ලැබුවේ විත්තිකරු විසින් කරන ලද නිර්දේශයකට අනුව බවයි. විත්තිකරු එය නිර්දේශ නොකළේ නම් එම මුදල ගෙවීමට අවකාශ නොලැබෙන බවද ඔහු පැවසීය.

කාපට් ඇතිරීම සිදුනොවීම නිසා පෞද්ගලික සමාගම විසින් ලබා දී තිබූ ඇපකරය පොහොර සමාගම සතුකර ගැනීමට පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

කෙසේවෙතත්, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්සගේ හරස් ප්‍රශ්න හමුවේ සාක්ෂිකරු පිළිගත්තේ මෙම ගෙවීම අවසාන වශයෙන් අනුමත කරනු ලැබුවේ ලංකා පොහොර සමාගමේ සභාපතිවරයා විසින් බවයි. විත්තිකරු සිදුකර ඇත්තේ එම ගෙවීම නිර්දේශ කිරීම පමණක් බව හෙතෙම තහවුරු කළේය.

පොහොර සමාගම සහ පෞද්ගලික සමාගම අතර ඇති කරගත් ගිවිසුමේ පිටපත පරීක්ෂාවට ලක් කළ මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී පෙන්වා දුන්නේ, කාපට් කිරීමේ කටයුතු අවසන් කළ යුතු කාලසීමාව පිළිබඳව ගිවිසුමේ සඳහන් කර නොමැති බවයි. නඩුවේ චෝදනා දෙකටම පදනම් වී ඇත්තේ මෙම කාලසීමාව බැවින්, චෝදනා ඔප්පු කිරීම සඳහා එම කාලසීමාව පිළිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීම ඉතා වැදගත් බව විනිසුරුවරයා පෙන්වාදුන්නේය.

අදාළ සමාගමට අත්තිකාරම් මුදල් ගෙවීම සම්බන්ධයෙන් ද ගිවිසුමේ කිසිදු සඳහනක් නොමැති බව විනිසුරුවරයා නිරීක්ෂණය කළේය.

ඒ අනුව, මේ පිළිබඳව වහාම සොයාබලන ලෙස විනිසුරුවරයා අල්ලස් කොමිසමට දැනුම්දුන්නේය.

වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් මස 07 වනදා දක්වා කල් තැබූ මහාධිකරණය, එදිනට සාක්ෂි දීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනකුට පෙනීසිටින ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට ද නියෝග කළේය.

2014 වසරේදී ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියදී, එහි ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමකට වාසි සහගත වන අයුරින් සිදුකරමින් රජයට රුපියල් 8,859,708/- ක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව මෙම නඩුව පවරා තිබේ.