July 15, 2026

අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කටයුතු කරමින් සිටින බව කාදිනල් හිමිපාණන්ගේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ අද (15) ප්‍රකාශ කළහ.

ගරු සිරිල් ගාමිණී පියතුමා විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, චාමර සම්පත් මන්ත්‍රීවරයා කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ආගමික කණ්ඩායම් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතුවිය හැකි බවයි.

“වත්මන් හමුදාපතිවරයා සිය සේවා කාලය දීර්ඝ කරවා ගැනීම සඳහා මෙවසරේ ජූලි 02 වැනිදා පළතුරු වට්ටියක් ද රැගෙන කාදිනල් හිමිපාණන් හමුවීමට ගිය බවට මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා චෝදනා කර තිබුණා. නමුත් එම දිනයේදී කාදිනල් හිමිපාණන් පසුවූයේ වතිකානුවේයි. ඒ, පාප්වහන්සේ විසින් කැඳවන ලද රැස්වීමකට සහභාගී වීම සඳහායි” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.