July 15, 2026

පින්නවල අලි අනාථාගාරය වෙත පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් “අලියෙක් සමග රවුමක්” (Walk with an Elephant) නමින් සුවිශේෂී වැඩසටහනක් අලුතින්ම හඳුන්වා දී ඇත. වන අලින්ගේ හැසිරීම් ඉතා සමීපව නිරීක්ෂණය කිරීමටත්, අලි ඇතුන් සංරක්ෂණය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගැනීමටත් මෙයින් සංචාරකයන්ට අවස්ථාව හිමි වේ.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අලි අනාථාගාරයේ වෙසෙන අලියෙකු සමඟ ඉතා ආරක්ෂිත වටපිටාවක ඇවිද යාමට මෙහිදී අවස්ථාව සැලසෙන බවයි.

එමඟින් ශ්‍රී ලංකාවේ අභිමානවත් වනජීවී උරුමය පිළිබඳව ඉහළ ඇගයීමක් මෙන්ම ජීවිතයට අමතක නොවන මතකයන් රැසක් දායාද කර ගැනීමට සංචාරකයන්ට හැකි වනු ඇත.

වන අලින්ගේ ස්වාභාවික හැසිරීම් රටා නිරීක්ෂණය කිරීමට ඉඩ සැලසීම සහ වනජීවී සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව මහජනතාව තුළ දැඩි උනන්දුවක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම වැඩසටහන සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මෙම සුවිශේෂී අත්දැකීම විඳගැනීම සඳහා වන විශේෂ ප්‍රවේශපත්‍ර පින්නවල අලි අනාථාගාරයේ ප්‍රධාන ප්‍රවේශපත්‍ර කවුන්ටරයෙන් ලබාගත හැකිය. මෙම වැඩසටහන දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මක වේ.

වනජීවී සංරක්ෂණ ප්‍රයත්නයන්ට දායකත්වයක් සපයන, එමෙන්ම ඉහළ අධ්‍යාපනික වටිනාකමකින් යුත් මෙම අපූර්ව වනජීවී අත්දැකීමට සහභාගී වන ලෙස ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව දෙස් විදෙස් සංචාරකයන් සැමට විවෘත ආරාධනාවක් කරයි.