July 15, 2026

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමුකර තිබේ.

ජනමාධ්‍ය කළ විමසීම්වලට පිළිතුරු දෙමින් මහාචාර්ය අබේකෝන් සඳහන් කර ඇත්තේ, මීට දින කිහිපයකට පෙර තමන් ජනාධිපතිවරයා වෙත මෙම ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කළද, ඒ සඳහා මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් එම ඉල්ලා අස්වීම පිළිගත්තේද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැති බවද ඔහු පැවසීය.

සිය ඉල්ලා අස්වීමේ තීරණයට හේතුවූයේ පෞද්ගලික කරුණු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මහාචාර්ය සරත් අබේකෝන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට පත්වීමට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන්ද කටයුතු කර තිබේ.

මේ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධුරය දැරූ මංජුලා මඩහපොළ මෑතකදී විශ්‍රාම ගැනීම හේතුවෙන් එම තනතුරද මේ වන විට පුරප්පාඩුව පවතී.

ඒ අනුව ස්ථිර පත්වීමක් සිදුකරන තෙක්, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් ඊෂාන් විජේතිලක වැඩබලන ආණ්ඩුකාර ලේකම්වරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.