July 14, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද ප්‍රකාශ කළේය.

සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ ජනමාධ්‍ය හමුවේදී නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය ජයතිස්ස කියාසිටියේ, අධිකරණවල පවතින විශාල නඩු ප්‍රමාණය, යුක්තිය පසිඳලීමේ ප්‍රමාදයන්, අධිකරණ නිලධාරීන්ගේ හිඟය, වෘත්තිකයන් රට හැරයෑම සහ ආයු අපේක්ෂාව ඉහළ යෑම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා වූ බවයි.

කැබිනට් මණ්ඩලය අවසන් තීරණයකට එළඹීමට පෙර මේ පිළිබඳව තවදුරටත් වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දී ඇති බවද ඔහු පැවසීය.

“රජය තවම තමන්ගේ අවසන් ස්ථාවරය ප්‍රකාශ කර නැහැ. කැබිනට් මණ්ඩලය මේ වන විට මූලික සාකච්ඡාවක් පමණක් පවත්වා අධිකරණ අමාත්‍යාංශයෙන් වැඩිදුර තොරතුරු ඉල්ලා තිබෙනවා” යැයි ඔහු සඳහන් කළේය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් විසින් එකිනෙකට වෙනස් අදහස් පළකර ඇති අතර, අවසන් තීරණයක් ගැනීමට පෙර එම අදහස්ද සැලකිල්ලට ගන්නා බව අමාත්‍ය ජයතිස්ස වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අධිකරණ නිලධාරීන් බඳවා ගැනීමට උත්සාහ කළද, සුදුසුකම් ලත් අයැදුම්කරුවන් නොමැතිකම හේතුවෙන් පුරප්පාඩු පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මහේස්ත්‍රාත්වරුන් 50 දෙනකු බඳවා ගැනීමට සැලසුම් කර තිබුණද ඉන් බඳවා ගැනීමට හැකි වී ඇත්තේ අපේක්ෂකයින් 33 දෙනෙකු පමණක් බවද සඳහන් කළේය.