July 14, 2026

දූෂණ නඩුවකට අදාළව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (14) නියෝග කළේය.

වාර්තා සඳහන් කළේ මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළ බවයි.

හිටපු අමාත්‍ය රණතුංග වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයාට පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා විදේශගත වීමට අවශ්‍යව ඇති බැවින් දැනට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නියෝජිතයෙකු අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම ඉල්ලීමට අදාළව අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කළ හැකි බවයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, රුපියල් මිලියනයක අතිරේක ශරීර ඇපයක් මත විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළේය.

අදාළ අතිරේක ඇප මුදල තැන්පත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය බලාත්මක වන බව ප්‍රකාශ වේ.

මීට අමතරව, මෙම තීරණය පිළිබඳව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා දැනුවත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට ලබන අගෝස්තු මස 4 වැනිදා නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කෙරිණි.