July 14, 2026

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද අල්ලස් කොමිසමට නියම කළේය.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

එහිදී අල්ලස් කොමිසම විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, එහි නිලධාරීන් ඉල්ලා සිටියේ විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

එම අවස්ථාවේදී ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා වෙනුවෙන් පෙනීසිටි නීතිඥ උදාර මුහන්දිරම්ගේ කරුණු දැක්වීමට අවසර පැතුවද, මහේස්ත්‍රත්වරයා කියා සිටියේ අදාළ පුද්ගලයා මෙතෙක් සැකකරුවකු වශයෙන් නම්කර නැති නිසා ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම අනවශ්‍ය බවයි.

සිද්ධියේ පළමු සැකකරු ලෙස නම්කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන පසුගියදා අභිරහස් ලෙස මියගොස් තිබිණි.

මෙහි දෙවැනි සැකකාරිය වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වැනි සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් ඉකුත් දා වරෙන්තු නිකුත් කර ඇත.

ඒ අනුව, පැමිණිල්ල ලබන ඔක්තෝබර් 13 වැනිදා නැවත කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා, එදිනට විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම්දෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.