July 14, 2026

තෝරාගත් වාහන ආනයනය සඳහා පනවා ඇති තාවකාලික 50% ක අධිභාරය නියමිත මාස තුනක කාලයෙන් පසුව තවත් දීර්ඝ නොකළ යුතු බවත්, එසේ කිරීමෙන් වෙළඳපොළ තුළ අවිනිශ්චිතතාවක් ඇති විය හැකි බවත් ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයක් මගින් පසුගිය මැයි 16 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි රජය මෙම තාවකාලික අධිභාරය පනවන ලදී. තෝරාගත් මෝටර් රථ ආනයනය සඳහා බලපැවැත්වෙන මෙම පියවර, 2026 අගෝස්තු 16 වැනිදා දක්වා මාස තුනක කාලයක් ක්‍රියාත්මක වීමට නියමිතය.

ආනයන බදු ක්ෂණිකව වෙනස්කිරීම මගින් බදු පනවන අවස්ථාවේදී මෙන්ම ඒවා ඉවත් කරන අවස්ථාවේදීත් වෙළඳපොළ තුළ අසමතුලිතතාවන් ඇති විය හැකි බව ධනනාත් ප්‍රනාන්දු පෙන්වාදෙයි.

“අපේ අදහස තමයි මේ වගේ අධිභාර පනවලා වාහන ආනයනය සීමාකිරීම හොඳ ප්‍රවේශයක් නෙවෙයි කියන එක. මොකද ඒකෙන් වෙළඳපොළ තුළ විශාල සංකූලතා ඇති වෙන්න පුළුවන්” යැයි ඔහු පවසයි.

ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාව අනුව, වත්මන් ක්‍රියාමාර්ගයේ කාලය අවසන් වූ පසු රජයට නැවත වතාවක් ක්ෂණිකව තවත් අධිභාරයක් පැනවීමට නොහැකි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

එලෙසම, මාස තුනක කාලය අවසානයේදී මෙම අධිභාරය ඉවත් කිරීමෙන් වෙළඳපොළ තුළ යම් කැලඹීමක් සහ ණයවර ලිපි (L/C) විවෘත කිරීමේ හදිසි වැඩිවීමක් ඇතිවිය හැකි බවත්, එය වෙළඳපොළ අස්ථාවර කිරීමට ඉඩ ඇති බවත් ඔහු පෙන්වාදෙයි.

මෙම අධිභාරය දීර්ඝ කරන්නේද නැද්ද යන්න රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් වුවද, එය දීර්ඝ කිරීම සාධාරණීකරණය කිරීමට පැහැදිලි හේතුවක් නැති බවට ධනනාත් ප්‍රනාන්දු තර්ක කරයි.

බොහෝ පාරිභෝගිකයන් සහ වෙළෙන්දන් තමන්ට අවශ්‍ය වාහන දැනටමත් ආනයනය කර ඇති බැවින්, වාහන ආනයන ලියාපදිංචිය මේ වන විටත් පහළ ගොස් ඇති බව ඔහු පෙන්වාදෙයි.

“වාහන සඳහා ඇති ඉල්ලුම දැන් අඩු වන්නට පටන් ගෙන තිබෙන නිසා, වාහන ආනයනයෙන් ලැබෙන බදු ආදායම පසුගිය වසරේ තරම් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සිතන්න අමාරුයි” ඔහු පවසයි.

දැනටමත් වාහන සඳහා 150% ත් 200% ත් අතර ඉහළ ආනයන බදු අනුපාත පවතින බව පෙන්වාදෙන ධනනාත් ප්‍රනාන්දු, එතරම් ඉහළ බදු මට්ටම් සාධාරණීකරණය කිරීම අපහසු බවද සඳහන් කරයි.

අතිරේක බදු මතම යැපෙනවා වෙනුවට රජය කළ යුත්තේ රාජ්‍ය වියදම් පාලනය කිරීම සහ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම බවද ඔහු අවධාරණය කරයි.

“ආදායම වැඩි කර ගැනීම වැදගත් වුණත්, වියදම් පාලනය කිරීමත් ඒ හා සමානවම තීරණාත්මකයි. මේ මොහොතේ රටට වඩාත්ම අවශ්‍ය කරන්නේ ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණයි. මොකද ඒ හරහා ආදායම වර්ධනය කර ගන්නා අතරම, ආර්ථිකය ඉදිරියට ගමන් කරනවා කියන සුබවාදී සංඥාවත් ලබාදෙන්න පුළුවන්” යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.