July 13, 2026

දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය තවදුරටත් ප්‍රමාද කිරීමකින් තොරව පවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතරම, පොදු ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව දෙමළ භාෂාව කතාකරන දේශපාලන පක්ෂ හයක් එක්ව නිවේදනය කර තිබේ.

අද (13) කොළඹදී පැවැති ජනමාධ්‍ය හමුවකදී සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය, ලංකා කම්කරු කොංග්‍රසය, ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය, ඉලංගෙයි තමිල් අරසු කච්චි, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය යන පක්ෂවල නියෝජිතයෝ මෙම එකඟතාව ප්‍රකාශයට පත්කළහ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මෙහිදී කියාසිටියේ, බලයට පත්වී වසරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පවත්වන බවට රජය ප්‍රතිඥා දුන්නද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගෙන නොමැති බවයි.

පාලනය තුළ කලාපීය නියෝජනය සහතික කිරීම සහ මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයෑම සහතික කරන ලෙස රජයෙන් ඒකාබද්ධ ඉල්ලීමක් කරන බවද ඔහු පැවසීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම, පළාත් සභා මැතිවරණය පැවැත්වීම, සියලුම ප්‍රජාවන්ට බලපාන ඉඩම් ආශ්‍රිත ගැටලුවලට විසඳුම් සෙවීම සහ සුළුතර ජනවාර්ගික ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම ඇතුළු ප්‍රධාන කරුණු හතරක් සම්බන්ධයෙන් පක්ෂ අතර එකඟතාවකට පැමිණි බවද ඔහු සඳහන් කළේය.

හිටපු මන්ත්‍රී සුමන්තිරන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව තුළ ප්‍රතිසන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ සියලුම ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම පොදු වේදිකාව ඔස්සේ සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙනයෑමට පක්ෂ කැපවන බවයි.