July 13, 2026

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයට එරෙහිව 2016 වසරේදී පවත්වන ලද උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පුද්ගලයන් පස්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් 21 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.

මෙම නඩුව අද (13) කැඳවනු ලැබූ අවස්ථාවේදී, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ළහිරු සිල්වා නියෝග කළේ වැඩිදුර සාක්ෂි විභාග කිරීම සැප්තැම්බර් මාසයේදී සිදුකිරීමටය.

2016 පෙබරවාරි 6 වැනි දින විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙමින් තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ල වී තිබේ.

මෙම විරෝධතාවය හේතුවෙන් මහජනතාවට සිදු වූ අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව පවරා තිබිණි.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, ජයන්ත සමරවීර, රොජර් සෙනෙවිරත්න සහ පියසිරි විජේනායක නම්කර ඇත.

අද දින විමල් වීරවංශ උසාවියේ පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ බව උසාවි වාර්තා සඳහන් කරයි.

මේ අනුව, වැඩිදුර කටයුතු සඳහා නඩුව නැවත සැප්තැම්බර් 21 වැනිදා කැඳවනු ලැබේ.