July 13, 2026

විශ්‍රාම යෑමේ වයස් සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විවිධ ක්ෂේත්‍රවලින් ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව රජය මේ වන විට සලකා බලමින් සිටින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) මීරිගම රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද වකුගඩු ගල් ප්‍රතිකාර ඒකකය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ජයතිස්ස, විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කරන ලෙස වෘත්තීය සමිති කිහිපයක්ම ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර රජය මෙම ඉල්ලීම් ඉතා හොඳින් සමාලෝචනය කරන බවද ඔහු පැවසීය.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ මහාධිකරණය වැනි අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් වෘත්තිකයන් ඇතුළු විවිධ වෘත්තීය කණ්ඩායම්වලින් මෙම ඉල්ලීම් ලැබී ඇති බවයි.

මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ද මෙවැනිම ඉල්ලීම් ලැබී ඇති බව ඔහු පැවසීය.

තමන්ට තවදුරටත් දීර්ඝ කාලයක් සේවය කිරීමට හැකියාව පවතින බව පවසමින්, විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කරන ලෙස වෙනත් වෘත්තිකයන් ද අදහස් ප්‍රකාශ කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් විවිධ මත පැවතිය හැකි වුවද, රජය දැනට ලැබී ඇති සියලුම ඉල්ලීම් සමාලෝචනය කරමින් සිටින බවත්, ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමෙන් අනතුරුව සුදුසු පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.