July 13, 2026

රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුළදීම සැකකටයුතු ලෙස මියගොස් සිටි 32 හැවිරිදි තරුණියකගේ මරණය සම්බන්ධයෙන් රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් විවෘත තීන්දුවක් නිකුත් කර තිබේ.

මෙලෙස අභිරහස් අන්දමින් මියගොස් ඇත්තේ පෙර වසරකදී අවුරුදු කුමරියක ලෙස කිරුළු පැළඳි නිසංසලා සඳමාලි නැමැති තරුණියකි.

දිගු කලෙක සිට මෙම නිවසේ තනිවම පදිංචිව සිටි ඇය, සාමාන්‍යයෙන් නිවසේ ප්‍රධාන දොර නිතරම වසාතැබීමට වගබලා ගෙන ඇත.

කෙසේවෙතත්, පසුගිය දින කිහිපය පුරාම මෙම දොර දිගින් දිගටම විවෘතව පවතිනු දැකීම නිසා අසල්වාසීන්ට ඇති වූ බරපතළ සැකයක් මත ඔවුන් මේ පිළිබඳව රත්නපුර මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස පරීක්ෂා කිරීමේදී, තරුණිය නිවසේ තිබූ ඇඳක් මත අප්‍රාණිකව වැතිර සිටිනු සොයාගෙන ඇත.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇය මියගොස් සිටි අවස්ථාවේ සිරුරේ උඩුකයට පමණක් ටී-ෂර්ට් එකක් ඇඳ සිටි අතර, සිරුරේ පහළ කොටස් නිරුවත් තත්ත්වයෙන් පැවති බවයි.

මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව, මරණයට නිශ්චිත හේතුව සෙවීම සඳහා සිරුරේ කොටස් රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

මෙම මරණය කිසියම් පුද්ගලයකු විසින් සිදුකළ අතවරයක් සහ ඝාතනයක්ද, විෂ වර්ගයක් ශරීරගත වීමක්ද නැතහොත් සිය දිවි නසාගැනීමක්ද යන්න පිළිබඳව රත්නපුර මූලස්ථාන පොලිසිය පැති කිහිපයක් ඔස්සේ පුළුල් පරීක්ෂණ පවත්වයි.

(මුලාශය – දිවයින පුවත්පත)