July 12, 2026

හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ පැවැති ‘හැටන් ලීග් නගරාධිපති කුසලාන’ පාපන්දු තරගාවලියේ දෙවැනි වටයේ තරගයක් අතරතුර උණුසුම්කාරී තත්ත්වයක් සහ ගැටුමක් හටගෙන තිබේ.

මෙම ගැටුම හටගෙන ඇත්තේ ඊයේ (11) ‘යංග් මේට්ස්’ කණ්ඩායම සහ ‘නොර්වුඩ් සන්රයිස්’ කණ්ඩායම අතර පැවැති තරගය අතරතුරදීය.

වාර්තා වන අන්දමට, තරගය නිමාවීමට තවත් මිනිත්තු 07ක් ඉතිරිව තිබියදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භ වී ඇත.

ඒ වන විට යංග් මේට්ස් කණ්ඩායම ගෝල 3ට 1ක් ලෙස තරගයේ පෙරමුණ ගෙන සිට තිබේ.

පිටිය තුළ ක්‍රීඩකයන් අතර ඇති වූ නොසන්සුන්තාවයත් සමඟ ප්‍රේක්ෂකයන් කිහිපදෙනකු ද ක්‍රීඩා පිටියට ඇතුළු වී ඇති අතර, එය පසුව පහරදීමක් දක්වා දුරදිග ගොස් ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව, වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.

මෙම සිදුවීමෙන් අනතුරුව, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන තරගයේ ඉතිරිව ඇති මිනිත්තු 07ක කාලය වෙනත් ක්‍රීඩාංගණයකදී පවත්වා අවසන් කිරීමට අවසර දෙන ලෙස නොර්වුඩ් සන්රයිස් කණ්ඩායම තරග බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරියේදී ගැනීමට තරග සංවිධායකයෝ සූදානමින් සිටින බව වාර්තා වේ.