July 12, 2026

ඉන්දීය කණ්ඩායමේ හිටපු නායක සෞරව් ගංගුලි, එංගලන්ත කණ්ඩායමේ හිටපු පිතිකරු කෙවින් පීටර්සන් සහ ඉන්දීය කාන්තා කණ්ඩායමේ හිටපු නායිකා අංජුම් චොප්රා 2026 වසරේ ‘අයි.සී.සී. කීර්තිමත් පුද්ගලයින්ගේ ශාලාව’ (ICC Hall of Fame) වෙත ඇතුළත් කර තිබේ.

එඩින්බරෝ හි පැවැති උත්සවයකදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් මෙම තිදෙනා ඇතුළත් කළ බව නිල වශයෙන් නිවේදනය කළ අතර, මේ සමඟ අයි.සී.සී. කීර්තිමත් පුද්ගලයින්ගේ ශාලාවේ සමස්ත සාමාජිකයින් සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගියේය.

අයි.සී.සී. සභාපති ජයි ශා මෙලෙස තේරී පත් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක් කළ අතර, ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම විශිෂ්ටත්වය නිරූපණය කළ පිරිසක් බවත් ඔවුන්ගේ ජයග්‍රහණ ඉදිරි පරම්පරා ගණනාවක් පුරා සමරනු ඇති බවත් සඳහන් කළේය.

ඉන්දියාවෙන් බිහි වූ සාර්ථකම නායකයෙකු වන සෞරව් ගංගුලි, 2003 අයි.සී.සී. පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහාතරගය සහ 2000 අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන අවසන් මහා තරගය දක්වා කණ්ඩායම මෙහෙයවූ අතර, ඔහුගේ නායකත්වය යටතේ 2002 ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී ඉන්දියාව (ශ්‍රී ලංකාව සමඟ) සම-ශූරයන් බවට පත්විය.

කෙවින් පීටර්සන් එංගලන්තය 2005 වසරේදී ලැබූ ඓතිහාසික අළුබඳුන තරගාවලි ජයග්‍රහණයේ ප්‍රධානතම භූමිකාවක් ඉටුකළ අතර, 2010 වසරේදී එංගලන්තය අයි.සී.සී. පිරිමි විස්සයි20 ලෝක කුසලානය දිනාගන්නා විට තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබීය.

අංජුම් චොප්රා යනු එක්දින අන්තර්ජාතික ලකුණු 1,000 සීමාව පසුකළ සහ එක්දින තරග 100ක් ක්‍රීඩා කළ පළමු ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවයි. 2002 වසරේදී දකුණු අප්‍රිකාවේදී ඉන්දියාව ලැබූ පළමු විදෙස් ටෙස්ට් තරග ජයග්‍රහණය සඳහා නායකත්වය දුන්නේ ද ඇය වන අතර, 2005 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ඉන්දියාව ගිය ගමනේදී ඇය ප්‍රධාන භූමිකාවක් ඉටුකළාය.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සියවස් සැමරුමේ කොටසක් ලෙස 2009 වසරේදී ආරම්භ කරන ලද ‘ICC Hall of Fame’ මගින්, ක්‍රිකට් ඉතිහාසය හැඩගැස්වීමට සුවිශේෂී දායකත්වයක් සහ ස්ථාවර බලපෑමක් ඇති කළ හිටපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක්කෙරේ.

ක්‍රීඩකයෙකු අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගෙන වසර පහක් ගතවීමෙන් පසුව මේ සඳහා සුදුසුකම් ලබයි.