July 12, 2026

මෙරට සිනමා ලෝලීන්ගේ හදවත්වල සදාතනිකව රැඳී සිටින විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකාගේ සහ මාලනී ෆොන්සේකාගේ චරිත විනාශ කිරීමට කටයුතු නොකරන ලෙසට සහෝදර කලාකරුවන්ගෙන් විශාල ඉල්ලීමක් මේ වනවිට ඉදිරිපත් වෙමින් පවතින ආකාරයක් දැකගන්නට තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා යන ප්‍රවීණ නළු නිළියන්ගේ ජීවන චරිත අළලා චිත්‍රපට තැනීමේ මුවාවෙන් ඇතැම් මුදලාලිලා මේ වනවිට එම චරිත විනාශ කිරීමට කටයුතු කරමින් සිටින බවකි.

විශේෂයෙන්ම මෑත කාලයේදී අභාවප්‍රාප්ත වූ නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ ජීවන චරිතය සම්බන්ධයෙන් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට එක්තරා ව්‍යාපාරිකයෙකු කටයුතු කරමින් සිටින අතර, මේ වනවිට ඊට අදාළ තිර පිටපතද ලියා අවසන් කොට ඇති බවක් දැනගන්නට තිබේ.

එහෙත් තවමත් එම තිරපිටපත මාලනී ෆොන්සේකාගේ පවුලේ කිසිදු ඥාතියෙකුට පෙන්වීමට කටයුතු කොට නැති බවත්, ඒ සම්බන්ධයෙන් පැවැති මුහුරත් උළෙල සඳහා හෝ ෆොන්සේකාගේ පවුලේ කිසිවකුට ආරාධනා කර නොමැති බවත් චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් විශාල චෝදනාවක් නගමින් මාලනී ෆොන්සේකාගේ නැගණිය වන දමයන්ති ෆොන්සේකා පසුගිය දිනෙක මෙම ව්‍යාපාරිකයා හට ලිපියක්ද යොමුකොට ඇති බවක් වාර්තා වේ.

එම ලිපියෙන් ඇය ඉල්ලා ඇත්තේ අදාළ චිත්‍රපටය නිර්මාණය කිරීමට ප්‍රථම එම තිරපිටපත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පවුලේ ඥාතීන්ට අවස්ථාවක් ලබාදෙන ලෙසටය.

(උපුටාගැනීම – මව්රට)