July 11, 2026

මෙරට නාගරික යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය රොටරි (Rotary) රථගාල නිල වශයෙන් හඳුන්වා දී තිබේ.

හේලීස් පී.එල්.සී. සමාගමට අනුබද්ධිත කාර්මික විසඳුම් සපයන ආයතනයක් වන ‘හේලීස් ඇවෙන්චුරා’ විසින් මෙම අධි-තාක්ෂණික ව්‍යාපෘතිය දියත් කර ඇති අතර, එමඟින් දැඩි වාණිජ කලාපවල පවතින රථවාහන නැවැත්වීමේ ඉඩකඩ හිඟයට කාර්යක්ෂම සහ නවීන විසඳුමක් හිමිවේ.

මෝටර් රථ සඳහා වන යෝධ ‘කැරකෙන ඔන්චිල්ලාවක්’ මෙන් ක්‍රියා කරන මෙම පද්ධතිය මඟින් වාහන තිරස් අතට වෙනුවට, සිරස් අතට ඉහළට එක මත එක සිටින සේ ගාල් කිරීමට ඉඩ සලසයි.

රියදුරන් තම වාහනය බිම් මට්ටමේ පවතින වේදිකාවක් මත නතර කළ පසු, පද්ධතිය ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වී එම වාහනය ඉහළට ඔසවා තබන අතර, ඊළඟ වාහනය සඳහා හිස් වේදිකාවක් බිමට ගෙන එනු ලබයි.

සාම්ප්‍රදායික බහු මහල් රථගාල් සඳහා අවශ්‍ය වන විශාල කොන්ක්‍රීට් බෑවුම් මාර්ගසහ ධාවන තීරු සඳහා වන ඉඩකඩ මෙහිදී සම්පූර්ණයෙන්ම ඉතිරි කරගත හැකිය.

මෙම පද්ධතිය මඟින් වාහනයක් නැවත ලබා දීම සඳහා ගත වන්නේ උපරිම මිනිත්තු දෙකහමාරක් වැනි කෙටි කාලයකි.

ඉඩකඩ ඉතිරි කිරීමට අමතරව, මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය සහ අනතුරු වළක්වන තත්කාලීන ආරක්ෂක සංවේදක (Sensors) වැනි ඉහළ තාක්ෂණික ආරක්ෂිත ක්‍රමවේද රැසක් මෙයට ඇතුළත් කර ඇත.

වාහන බිම් මට්ටමෙන් ඉහළට එසවී පවතින බැවින්, සොරකම් හෝ වෙනත් හානිවලින්ද උපරිම ආරක්ෂාවක් සැලසේ.

මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ‘ස්මාර්ට් නගර’ (Smart-city) සංකල්පයේ ඉදිරි පියවරකි.

මීට පෙරද හේලීස් ඇවෙන්චුරා ආයතනය විසින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ වාහන 40ක ‘පිට්-පස්ල්’ පද්ධතියක් සහ කොළඹ ප්‍රදේශයේ ‘ස්ටැක්’ රථගාල් ක්‍රමවේද හඳුන්වා දී ඇත.

ඉඩම් මිල අධික නාගරික නිවාස සංකීර්ණ සහ වාණිජ මධ්‍යස්ථාන සඳහා මෙම නව ක්‍රමය වඩාත් පිරිවැය-ඵලදායී විසඳුමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.