July 11, 2026

වත්මන් ආණ්ඩුව බලයට පත්වූ දිනයේ සිටම රටේ ජාතික ආරක්ෂාව ඉහළින්ම තහවුරු කිරීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ නාවලපිටිය සහ කොත්මලේ ‘අදිටන’ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ආසන සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවලදී විවිධ ගැටලු මතුවුවද, ඒවා මේ වනවිට සම්පූර්ණයෙන්ම සමථයකට පත් කිරීමට රජය සමත්ව ඇති බව පෙන්වාදුන්නේය. තමන් ඇතුළු කණ්ඩායම සැමවිටම කටයුතු කරන්නේ ව්‍යවස්ථානුකූලව සහ ප්‍රතිපත්තිගරුකව බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂයේ හැසිරීම විවේචනය කරමින් අමාත්‍යවරයා කියාසිටියේ, ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිදුකරනු ලබන සෑම යහපත් කාර්යයකටම විපක්ෂය නිරන්තරයෙන් විරුද්ධ වන බවයි.

මීට අමතරව, බන්ධනාගාර කොමසාරිස්වරයා පත්කිරීම සහ බෝගම්බර බන්ධනාගාරය යළි පිහිටුවීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව ඉදිරි දිනයකදී විශේෂ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළේය.