July 11, 2026

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ මාතෘකාව මුල් කරගනිමින් අධිකරණ සේවා සංගමය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස, මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් නියෝජනය කරන ‘අධිකරණ සේවා සංගමයේ‘ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් සාමාජිකයින්ගේ අදහස් විමසීම සඳහා අද (11) විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීමට සංගමයේ විධායක කමිටුව තීරණය කර තිබිණි.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබූ මෙම රැස්වීම සංවිධානය කිරීමේදී මතු වූ අභ්‍යන්තර මතභේදාත්මක තත්ත්වයක් සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට සෘජුවම බලපා ඇත.

සිය ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු පැහැදිලි කරමින් සභාපති පසන් අමරසේන විසින් සාමාජිකයින් වෙත යොමු කරන ලද නිල ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්ව තිබේ.

කෙසේවෙතත්, සභාපතිවරයා එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරමින් සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ විසින් ද ප්‍රතිචාර ලිපියක් නිකුත් කර ඇත.

එමඟින් ලේකම්වරයා අවධාරණය කර තිබුණේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම කුමන මට්ටමක පැවතුණත්, සැලසුම් කළ පරිදි විශේෂ මහා සභා රැස්වීම පවත්වන බවයි.

මතභේද සහ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම මධ්‍යයේ වුවද, අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අද පෙරවරු 10:00 ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී ආරම්භ වූ බව වාර්තා වේ.