July 11, 2026

ගෝලීය මුහුදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කරමින්, ලොව විශාලතම බහාලුම් ප්‍රවාහන නෞකා සමාගම වන Mediterranean Shipping Co. (MSC), හම්බන්තොට අන්තර්ජාතික වරායේ සැලකිය යුතු කොටස් ප්‍රමාණයක් අත්පත් කර ගැනීම සඳහා වන මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ.

චීනයේ China Merchants Port Holdings (CMPort) සමාගම සහ ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මෙම සාකච්ඡා වර්තමානයේදී පැවැත්වෙන බව ‘Journal of Commerce’ වෙබ් අඩවිය වාර්තා කරයි.

දැනට පවතින තත්ත්වයට අනුව හම්බන්තොට වරායේ වැඩිම කොටස් අයිතිය, එනම් 85% ක ප්‍රතිශතයක් හිමිව ඇත්තේ චීනයේ CMPort සමාගමට වන අතර ඉතිරි 15% ක කොටස් හිමිකාරිත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරියසතු වේ.

මෙම උපායමාර්ගික ආයෝජන සැලසුම්වලට සමගාමීව, MSC සමාගම සිය ප්‍රතිඅපනයන මෙහෙයුම් කොළඹ වරායේ සිට හම්බන්තොට වරාය වෙත මාරුකිරීමේ කටයුතු ද දැනටමත් ආරම්භ කර ඇත.

එහි මූලික පියවරක් ලෙස ඔවුන්ගේ Ingwe නෞකා සේවාව පසුගිය ජූනි 12 වන දින සිට හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කෙරිණි.

CMPort සමාගම සිදුකිරීමට නියමිත නව ආයෝජන ද සමඟින්, මේ වසර අවසන් වන විට හම්බන්තොට වරායේ සමස්ත බහාලුම් මෙහෙයවීමේ ධාරිතාව බහාලුම් මිලියන 2 (TEUs) දක්වා දෙගුණයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ හරහා නෞකා සමාගම්වලට තම සැපයුම් දාමයන් වඩාත් කාර්යක්ෂමව පාලනය කිරීමටත්, පාරිභෝගිකයන්ට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීමටත් අවස්ථාව සැලසේ.

MSC සමාගම ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය කෙරෙහි අවධානය යොමුකරන්නේ ඉන්දියාවේ මුන්ද්‍රා සහ විජින්ජම් වරායන්හි ද දැනටමත් ආයෝජන සිදුකර ඇති පසුබිමක ය.

මේ අතර, ගෝලීය වෙළඳපොළේ ඔවුන්ගේ ප්‍රධාන තරඟකරුවන් වන Maersk සහ CMA CGM වැනි සමාගම් ද ඉන්දියානු සහ ශ්‍රී ලංකා වරාය ක්ෂේත්‍රය තුළ සිය මෙහෙයුම් බලය ශක්තිමත් කරමින් සිටින බැවින්, ඉදිරියේදී කලාපීය වරාය තරඟකාරිත්වය තවදුරටත් උණුසුම් වනු ඇත.