July 11, 2026

මහනුවර නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික බෝගම්බර බන්ධනාගාරය නැවත ස්ථාපිත කිරීමට රජය ගෙන ඇති තීරණයට මහනුවර දිස්ත්‍රික් ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇති බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද්‍රාණි කිරිඇල්ල ප්‍රකාශ කරයි.

ඇය මේ බව කියා සිටියේ එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

බන්ධනාගාර ආඥා පනත යටතේ, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් බෝගම්බර බන්ධනාගාරය නැවත ආරම්භ කිරීම සඳහා වන අති විශේෂ ගැසට් පත්‍රිකාවක් ද මේ වන විට නිකුත් කර තිබේ.

ශ්‍රී දළදා මාළිගාවට ආසන්නව පිහිටි මෙම බන්ධනාගාරය, මහනුවර නගර සංවර්ධන සැලසුම්වලට අනුව මුලින්ම වසාදැමීමට පියවර ගනු ලැබුවේ 2014 වසරේදීය.

මෙය හුදු පරිපාලනමය තීරණයක් නොව නගරයේ අනාගත දියුණුව උදෙසා ගත් තීරණයක් බැවින්, එය ආපස්සට හැරවීමට කටයුතු නොකරන ලෙස මන්ත්‍රීවරිය රජයෙන් ඉල්ලා සිටී.

රජයේ මෙම නොසැළකිලිමත් සහ ක්ෂණික තීරණය හේතුවෙන් මහනුවර නගරයේ සංවර්ධන කටයුතු අඩාල වන බව ඇය පෙන්වාදෙයි.

වසර 100කට වඩා පැරණි බෝගම්බර බන්ධනාගාර ගොඩනැඟිලි, වර්තමානයේ රැඳවියන් රඳවා තැබීමට තරම් සුදුසු මට්ටමක නොමැති බව ද මෙහිදී අනාවරණය කෙරිණි.

“මේ පැරණි ගොඩනැඟිලි ප්‍රතිසංස්කරණය කරන්න රජයට බිලියන ගණනක් වැය කරන්න සිද්ධ වෙනවා. තාවකාලික විසඳුම් වෙනුවෙන් මෙලෙස මහජන මුදල් බිලියන ගණනින් නාස්ති කිරීම කිසිසේත්ම සුදුසු දෙයක් නෙවෙයි” යැයි චමින්ද්‍රාණි කිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කළාය.