July 11, 2026

යාපනය ප්‍රදේශයේදී තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස්, නිරුවත් කර අමානුෂික ලෙස වධහිංසා පැමිණවීමේ සිදුවීමකට සම්බන්ධ පස්දෙනකුගෙන් යුත් දරුණු කල්ලියක් තියුණු කඩු සහ මත්ද්‍රව්‍ය ද සමඟ අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය සමත්ව තිබේ.

පසුගිය 5 වනදා යාපනය හින්දු විද්‍යාලය අසලදී මෙම පස්දෙනෙකුගෙන් යුත් කල්ලිය විසින් අදාළ තරුණයාව බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ඇත.

පසුව ඔහුව රහසිගත ස්ථානයකට රැගෙන ගොස්, ඇඳුම් ගලවා නිරුවත් කර දරුණු ලෙස වධහිංසා පමුණුවා ඇති බව සඳහන් වෙයි.

අනතුරුව බරපතළ තුවාල ලබා සිටි තරුණයා යාපනය බොස්කෝ පාසල අසලට ගෙනවිත් දමා මෙම කල්ලිය පළාගොස් තිබේ.

ලැබුණු බුද්ධි තොරතුරු මත වහාම ක්‍රියාත්මක වූ පොලිසිය තුවාල ලබා සිටි තරුණයා සොයාගෙන වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමුකිරීමට කටයුතු කර ඇත.

මේ අතර, මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට සැකකටයුතු ලෙස අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් නිරීක්ෂණය වී තිබේ.

පොලිසිය එය නැවතීමට සංඥා කළ ද, එය නොනවත්වා ධාවනය කිරීම නිසා ලුහුබැඳ ගිය පොලිස් කණ්ඩායම එම මෝටර් රථය වටලා එහි සිටි සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෝටර් රථය යාපනයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සමාගමකට අයත් එකක් බවට පොලීසිය සැකකරයි.

සැකකරුවන් සන්තකයේ තිබී සැලසුම් සහගත කඩු කැපීමේ සිදුවීම් සඳහා භාවිත කරන තියුණු කඩු 2ක් සහ ග්‍රෑම් 2.5ක අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සොයාගෙන ඇත.

විශේෂයෙන්ම, මෝටර් රථයේ දොරවල් සහ ආසනවල තිබූ පැහැදිලි ලේ පැල්ලම් නිරීක්ෂණය වී ඇති අතර, ලේ තැවරුණු ඇඳුමක් ද පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ යාපනය අපරාධ වැළැක්වීමේ ඒකකය මඟින‍් පුළුල් විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.