July 10, 2026

දවසින් දවස අලුත් වන ශ්‍රී ලාංකේය දේශපාලන කරළියට ඊයේ දිනයේදී තවත් සුවිශේෂී පිටුවක් පෙරළුණේය. ඒ, ඉදිරි රාජ්‍ය බලය අත්පත් කරගැනීම වෙනුවෙන් ගමින් ගමට යමින් රැලි මවන ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් අතරට නාමල් රාජපක්ෂ අලුත්ම මුහුණුවරකින් ප්‍රවිෂ්ට වීමත් සමඟය.

මෙතෙක් කල් විපක්ෂයේ ප්‍රධාන බලවේග ලෙස සජිත් ප්‍රේමදාස (සජබ), දිලිත් ජයවීර (සර්වජන බලය) සහ මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් වෙන වෙනම රැලි මවමින් සිටි පසුබිමක, නාමල් රාජපක්ෂ ඊයේ දිනයේදී ‘A-Team Next Wave’ නමින් නව දේශපාලන බලවේගයක් ප්‍රසිද්ධ ජනමාධ්‍ය හමුවක් පවත්වමින් කරළියට පැමිණියේය.

නාමල් රාජපක්ෂ සමඟින් මෙම ජනමාධ්‍ය හමුවට ඩී.වී. චානක, චානක මදුගොඩ, අනුරාධ ජයරත්න සහ රෝහිත අබේගුණවර්ධන වැනි දේශපාලනඥයෝ පිරිසක් ඊට එක්ව සිටියහ. මොවුන්ගේ මූලික අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් පුළුල් සන්ධානයක් ගොඩනැගීමයි. රටේ පවතින දැවෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සහ විරෝධතා සඳහා කණ්ඩායම් පෙළගැස්වීම මෙම නව බලවේගයේ අරමුණ බව ඔවුහු පවසති.

මෙම නව පෙරළියත් සමඟ විපක්ෂයේ අනෙකුත් කණ්ඩායම් තුළ බරපතළ ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

දැනට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) නියෝජනය කරන රෝහිත අබේගුණවර්ධනද, මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ ‘ඒකාබද්ධ විපක්ෂය’ රැස්වීම්වලටද සහභාගී වන අතරම ඊයේ නාමල්ගේ ‘A-Team’ මේසයේද අසුන්ගෙන සිටියේය.

මහනුවර ඒකාබද්ධ විපක්ෂයේ ජනහමුවලට නායකත්වය දුන් අනුරාධ ජයරත්නද ඊයේ සිටියේ නාමල්ගේ කණ්ඩායම සමඟය.

කළින් රාජපක්ෂ කඳවුරේ ප්‍රබලයින් වූ එස්.එම්. චන්ද්‍රසේන, දිලුම් අමුණුගම, චන්න ජයසුමන, අනුරාධා යහම්පත් සහ මධුර විතානගේ වැනි පිරිස් දැනට දිලිත් ජයවීර වටා රොද බැඳගෙන සිටිති. නාමල්ගේ මෙම නව ආගමනයත් සමඟ දිලිත් ජයවීර ගොඩනැගූ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගම් මට්ටමේ බලය නැවතත් නාමල් වෙත ඇදී යනු ඇත්දැයි සැකයක් මතුවේ.

මේ දිනවල දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වන්නේ විනිසුරුවරුන්ගේ නිල කාලය දීර්ඝ කිරීමේ ගැටලුවයි. මේ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කළ යුතු මැදිහත්වීම සහ ලිපි ලේඛන යැවීම්, නාමල් රාජපක්ෂ විසින්ම සිදුකරමින් පක්ෂ සියල්ල එකතු කරගැනීමට උත්සාහ කිරීම විශේෂත්වයකි.

විශ්ලේෂකයන් ප්‍රශ්න කරන්නේ විපක්ෂ නායක ධුරය නිල වශයෙන් සජිත් ප්‍රේමදාස සතු වුවද, ප්‍රායෝගිකව රට තුළ ‘නොනිල විපක්ෂ නායකයා’ වීමේ භූමිකාව නාමල් රාජපක්ෂ විසින් අත්පත් කරගනිමින් සිටිනවාද යන්නයි. ඉදිරි දිනවලදී සජබයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවා නාමල්ගේ මෙම රැල්ල වටා එකතු වීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

අවසානයේදී මෙම දේශපාලන බල පොරය තුළ තනිවෙන්නේ සජිත් ප්‍රේමදාසද, නැතහොත් දිලිත් ජයවීරද? නාමල් රාජපක්ෂගේ ‘A-Team Next Wave’ මෙහෙයුම මෙරට දේශපාලන කරළිය තවත් ව්‍යාකූල කරමින් ඉදිරි රජ පුටුව වෙනුවෙන් ලොකු ප්‍රශ්නාර්ථයක් ඉතිරි කර තිබේ.