July 10, 2026

වොට් 60 හෝ ඊට අඩු, නිසි ප්‍රමිතියෙන් තොර එල්.ඊ.ඩී. (LED) බල්බ ආනයනය කිරීම, ගබඩා කිරීම මෙන්ම අලෙවි කිරීම සපුරා තහනම් බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අවධාරණය කරයි.

මෙම නීති උල්ලංඝනය කරමින් බාල වර්ගයේ බල්බ විකුණන පුද්ගලයන්ට සහ ආයතනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

නව රෙගුලාසිවලට අනුව, වෙළඳපොළේ ඇති සෑම LED බල්බයකම අසුරන කවරය, දවටනය හෝ පෙට්ටිය මත ‘අවම බලශක්ති කාර්ය සාධන ලේබලය’ පැහැදිලිව ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ.

දිවයින පුරා විවිධ ප්‍රදේශවල ප්‍රමිතියෙන් තොර බාල LED බල්බ බහුලව අලෙවි වන බවට අධිකාරිය වෙත පැමිණිලි රැසක් ලැබී තිබේ.

මේ හේතුවෙන් එවැනි වෙළඳසැල් සහ ගබඩා වටලා, වැරදිකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත.

මෙම පියවර ගනු ලබන්නේ ‘2020 මැයි 28 දිනැති අංක 2177/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ’ සඳහන් බලතල ප්‍රකාරවය.

බලශක්ති කාර්ය සාධන ලේබලය රහිත, ප්‍රමිතියෙන් තොර LED බල්බ මිලදී ගැනීමෙන් වළකින ලෙස සුනිත්‍ය බලශක්ති අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙවැනි බාල නිෂ්පාදන මිලදී ගැනීමෙන් පාරිභෝගිකයාට මූල්‍යමය පාඩුවක් මෙන්ම විදුලි නාස්තියක් ද සිදුවන බව අධිකාරිය පෙන්වාදෙයි.