July 9, 2026

වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් (මුහුදුබඩ මාර්ගයේ) ප්‍රදේශයේදී 2023 වසරේ සිදුවූ රිය අනතුරකට අදාළව තමන්ට එරෙහිව ගොනුකර තිබූ එක් චෝදනාවකට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න වරද පිළිගෙන තිබේ.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනීසිටි රවී සෙනෙවිරත්න, ‘අනතුරක් වැළැක්වීමට අපොහොසත් වීම’ යන චෝදනාවට මෙලෙස වරද පිළිගත් අතර, මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා විසින් ඔහුට රුපියල් 2,500 ක දඩයක් නියම කරන ලදී.

තම සේවාදායකයා පළමු චෝදනාව සම්බන්ධයෙන් වගකීම භාරගත් බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම්දුන්හ.

පළමු චෝදනාව සඳහා දඬුවම් නියම කිරීමට සහ ‘නොසැලකිලිමත් ලෙස රිය පැදවීම’ සහ බීමතින් රිය පැදවීම’ යන ඉතිරි චෝදනා ඉදිරියට පවත්වාගෙන යන්නේද යන්න තීරණය කිරීම සඳහා නඩුව අද (09) කැඳවනු ලැබීය.

නියම කරන ලද දඩ මුදල ගෙවීම තහවුරු කිරීමට සහ ඉතිරි චෝදනා දෙක සම්බන්ධයෙන් විභාගය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නඩුව ලබන අගෝස්තු 20 වැනිදා නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.