July 9, 2026

තමන්ට දිගින් දිගටම හිරිහැර සහ තර්ජන එල්ල වන බව පවසමින්, දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක සහ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, මන්ත්‍රී අර්චුනා රාමනාදන්ගේ පාර්ලිමේන්තු අසුන් ගැනීමේ ස්ථානය වෙනස් කරන ලෙස කථානායක ජගත් වික්‍රමරත්නගෙන් ඉල්ලා ඇත.

ජූනි 23 වැනි දිනැති ලිපියක් මඟින් ගජේන්ද්‍රකුමාර් පවසා ඇත්තේ, පාර්ලිමේන්තුවේ තමන්ට පසෙකින් අසුන් ගෙන සිටින රාමනාදන්, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද තමන්ට “දිගින් දිගටම” වාචිකව අපහාස කර ඇති බවත්, ප්‍රචණ්ඩත්වයෙන් තර්ජනය කර ඇති බවත් සහ තමන්ට එරෙහිව අපහාසාත්මක වදන් භාවිත කර ඇති බවත්ය.

මෙම තත්ත්වය කෙතරම් දරුණු අතට හැරී ඇත්ද යත්, අර්චුනා රාමනාදන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ තමන්ට පසෙකින් වාඩිකරවා ගැනීම තවදුරටත් කළ නොහැක්කක් වී ඇති බවත්, එය තමන්ගේ රාජකාරි කටයුතු කරගෙන යාමට බාධාවක් වී ඇති බවත් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පවසයි.

ස්වාධීන කණ්ඩායමකින් තේරී පත් වූ, මුල්වරට පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරයෙකු වන අර්චුනා රාමනාදන්ට, සාමාන්‍ය පාර්ලිමේන්තු අසුන් ගැනීමේ සම්ප්‍රදායට පටහැනිව, පිළිගත් දේශපාලන පක්ෂවල නායකයන් සහ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් අතර අසුනක් වෙන්කර දී ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

ස්වාධීන මන්ත්‍රීවරුන් සඳහා වන සාමාන්‍ය අසුන් ගැනීමේ සම්ප්‍රදායට අනුකූලව, අර්චුනා රාමනාදන්ගේ අසුන සභා ගර්භයේ වම්පසට වන්නට වෙනත් ස්ථානයකට මාරුකරන ලෙස ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කථානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.