July 8, 2026

ෆේස්බුක් එකේ ඉන්න කොට පාලුවෙන් ඉන්න, දික්කසාද වුණු, නැත්නම් හස්බන්ඩ් නැති අසරණ සුන්දර ලස්සන අක්කලාගේ, නංගිලාගේ ප්‍රෝෆයිල් දැකලා ‘ඇඩ් රික්වෙස්ට්’ දාලා මැසේජ් කරන්න ගිය අපේ ලංකාවේ තරුණයන්ට වගේම අංකල්ලාටත් මෙන්න සුපිරි බඩයන්න යන ආරංචියක් අරන් ආවා. ඔය පාලුවෙන් ඉන්නවා කියලා දාන ලස්සන කෙල්ලන්ගේ ප්‍රෝෆයිල් පිටුපස ඉන්නේ සැබෑ කෙල්ලෝ නෙවෙයි, කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් හදපු ව්‍යාජ හොල්මන් කියලා ලංකාවේ පළමු වතාවට කරපු විශේෂ පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා.

ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙක් වෙන ආචාර්ය සංජන හත්තොටුව කරපු මේ සුපිරි හෙළිදරව්වෙන් කියන්නේ, මේ ව්‍යාජ ලස්සන කෙල්ලෝ ඇවිත් ඉන්නේ අපේ අයව ඔන්ලයින් සූදු (Gambling), 18+ වැඩිහිටි චැට් (Adult Chat), ක්‍රිප්ටෝ වංචා සහ එක එක හොර මූල්‍ය ජාවාරම්වලට අහුවෙන සයිට්වලට ඇදලා ගන්න ලොකු සැලසුමකට අනුව කියලයි.

ලක්ෂ 9කට වැඩේ දීපු අක්කලාගේ රහස

මේ පර්යේෂණයේදී සැකකටයුතු ෆේස්බුක් ගිණුම් 10ක් අරන් පරික්ෂා කරලා තියෙනවා. බලද්දී එක කෙල්ලෙක්වත් ඇත්ත කෙල්ලෝ නෙවෙයි. හැබැයි මේ අය දාන පෝස්ට් දැක්කම අපේ අයට ඉවසන්න බැහැ. “මම හරි පාලුවෙන් ඉන්නේ”, “මට කවුරුත් නැහැ”, “සල්ලි ප්‍රශ්න තියෙනවා” වගේ හදවතට වදින සංවේදී කතා දාලා පුද්ගලයන්ව ආකර්ෂණය කරගන්නවා.

මේ දාපු පෝස්ට් 1,706කට විතර අපේ අය ලයික්, කමෙන්ට්, ෂෙයාර් දාලා ලක්ෂ 9කට (890,000කට) වඩා ප්‍රතිචාර දක්වලා තියෙනවා කියන්නේ ඉතින් අපේ අය රැවටිලා තියෙන තරම හිතාගන්න පුළුවන්නේ? තව දෙයක්, මේ ගිණුම් ඔක්කොම එකම වෙලාවක, එකම කැප්ෂන් සහ එකම පෝස්ට් මිනිත්තු කිහිපයක් ඇතුළත ශෙයාර් කරගන්න හැටිත් මේ රහස් පරීක්ෂණයෙන් අහුවෙලා තියෙනවා.

ගේම ගහන්නේ කොහොමද?

මේ හොර ගිණුම් කරන අය කරන්නේ ප්‍රෝෆයිල් බයෝ (Bio) එකේ, නැත්නම් පෝස්ට් එකේ යටින් දාන ලින්ක් එකකින් හෝ පළමු කමෙන්ට් එකෙන් අපේ අයව බාහිර වෙබ් අඩවිවලට ඇදලා ගන්න එක. වඩාත්ම පුදුමේ කියන්නේ ෆේස්බුක් එකේ ඉන්න කෙල්ලගේ මූණ නෙවෙයි අර ලින්ක් එකෙන් යන සයිට් එකේ ඉන්නේ. එහෙට යද්දී අනන්‍යතාවය වෙනස් වෙනවලු.

දේශපාලන ගේමක්ද?

දැනට නම් මේකෙන් ලංකාවේ දේශපාලන ප්‍රචාරණයක් කරන බවට සාක්ෂි හමු වෙලා නැහැ. හැබැයි මේ ජාලය හරහා දැනටමත් විශාල පිරිසකගේ විශ්වාසය දිනාගෙන ඉන්න නිසා, ඕනෑම වෙලාවක මේක දේශපාලන කුමන්ත්‍රණ සහ මඩ ප්‍රහාරවලට පාවිච්චි කරන්න පුළුවන් කියලා පර්යේෂකයන් අනතුරු අඟවනවා.

මෙවැනි ජාවාරම් ස්පාඤ්ඤ, ඉතාලි වගේම ඉන්දියාවේ මලයාලම් භාෂාවෙනුත් සිද්ධ වෙනවලු. ඒ කියන්නේ මේක ලංකාවේ විතරක් නෙවෙයි ලෝක වටේම යන අන්තර්ජාතික හොර ජාලයක්.

ෆේස්බුක් එකේම තියෙන සාමාන්‍ය ෆීචර්ස් පාවිච්චි කරලා මේ ගේම ගහන නිසා සාමාන්‍ය කෙනෙකුට මේ ඉන්නේ ඇත්ත කෙල්ලෙක්ද නැත්නම් AI රොබෝ කෙනෙක්ද කියලා හොයාගන්න එක ලෙහෙසි වෙන්නේ නැහැ. ඒ නිසා මින් පස්සේවත් ෆේස්බුක් එකේ ඉන්න අසරණ සුන්දරියන්ව බේරගන්න ලින්ක් ක්ලික් කරන්න කලින් දෙපාරක් හිතන්න කියලා අපි ඔයාලට කියනවා.