July 8, 2026

පාරිභෝගිකයා නොමඟ යවන සහ රවටන අයුරින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ නීතිරීති සහ විධානයන් උල්ලංඝනය කරමින් කටයුතු කළ කොළඹ 03, ගාමිණී ගුණරත්න මාවතේ පිහිටි ‘ටියාන් යෙෆා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම’ (Tian Yefa Traders Private Limited) ආයතනයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ අද (08) නඩු පවරනු ලැබිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් පසුගියදා සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සුපිරි වෙළඳසැල තුළ විකිණීමට තිබියදී අත්අඩංගුවට ගත් භාණ්ඩ රැසක් අද දින අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

එලෙස අධිකරණයට ඉදිරිපත් කළ නඩු භාණ්ඩ අතර පහත සඳහන් දෑ ඇතුළත් විය:

* ආනයනකරුගේ/වෙළෙඳපොළට නිකුත් කරන්නාගේ නම, ලිපිනය, කාණ්ඩ අංකය හෝ රට සඳහන් නොකළ කුකුළු මස් නිෂ්පාදන ඇසුරුම්.
* ආනයනකරුගේ/නිෂ්පාදකයාගේ තොරතුරු රහිත පාන් වර්ග ඇසුරුම්.
* සැපයුම්කරු විසින් නිකුත් කරන ලද බිල්පත් හෝ කුවිතාන්සි නොමැති ඇසුරුම් කළ ආහාර.
* SLS ප්‍රමිති ලාංඡනය රහිත දුඹුරු සීනි ඇසුරුම්.
* කල් ඉකුත් වූ ආහාර ඇසුරුම්.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය, චෝදනා 6කට අදාළව වරදකරු වූ විත්තිකාර සමාගමට එක් චෝදනාවකට රුපියල් 100,000 බැගින් රුපියල් 600,000 ක (ලක්ෂ හයක) දඩයක් නියම කළ අතර, අත්අඩංගුවට ගත් සියලුම නඩු භාණ්ඩ වහාම විනාශ කිරීමට ද නියෝග කළේය.

පාරිභෝගිකයින් රවටමින් පාලන මිල ඉක්මවා, බාල ප්‍රමිතියේ හෝ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව කාර්යාල වේලාවන් තුළ 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ වහාම දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.