July 8, 2026

පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් අටදෙනකුට (08) කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළේය.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදී.

මෙම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් අතුරින් සත්දෙනකු (07) අද දින අධිකරණයේ පෙනී සිටි අතර, අධිකරණය මඟහැර සිටි අනෙක් විත්තිකරු නොමැතිව (සරණාගතව) නඩු විභාගය පවත්වා තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විනිසුරුවරයා පියවර ගත්තේය.

මෙම නඩුවට පසුබිම් වූ අපරාධය සිදු වී ඇත්තේ 1997 සැප්තැම්බර් මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදීය.

කොළඹ අධිකරණ බලසීමාවට අයත් තාරාවත්ත ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම සිදුවීම සිදුව ඇත.

එහිදී හේවා බටගොඩගේ කුසුමාවතී සහ වේලායුධම් උදයකුමාර් යන අය ඝාතනයට ලක් වූ අතර තවත් කිහිපදෙනකුට බරපතළ තුවාල සිදුවිය.

නීතිපතිවරයා විසින් පවරනු ලැබූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර ඇති සියලුම චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

ඒ අනුව වරදකරුවන් වූ විත්තිකරුවන් අටදෙනාටම මෙලෙස මරණීය දණ්ඩනය නියම කෙරිණි.