July 7, 2026

ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී විත්තිකාර නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනීසිටියේය.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ කටයුතු කිරීම සඳහා චෝදනා වල ‘සංක්ෂිප්ත පිටපතක්’ අධිකරණයට ඉදිරිපත් කරන බව සඳහන් කළාය.

ඊට අමතරව මෙම ඉන්දීය සාක්ෂිකරුවන් පදිංචිව සිටින ලිපිනවලට අමතරව තවත් ලිපින දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති බවත්, එම ලිපින අඩංගු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවත් රජයේ නීතිඥවරිය දැනුම්දුන්නාය.

ඒ අනුව අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 358 ප්‍රකාරව කටයුතු කරමින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම් හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මාර්ගයෙන් සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විනිසුරුවරිය විසින් අධිකරණයේ ලේඛකාධිකාරිවරයාට නියෝග කළාය.

මෙම සිතාසි නිකුත් කිරීමේ කටයුතු වල ප්‍රගතිය සොයාබැලීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 22 වැනිදා කැඳවන ලෙසත් විනිසුරුවරිය නියෝග කරනු ලැබුවාය.

මෙම නඩුව කැඳ වූ අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයේ පෙනීසිටියේ නැත.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම නඩු විභාගය සඳහා හෝ සිතාසි නිකුත් කිරීමේ ක්‍රියාදාමය සඳහා සහාය දැක්වීමක් නොකරන බව අධිකරණය විසින් නිරීක්ෂණය කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය එය සටහන් කර තබන බවත් විවෘත අධිකරණයේ පැවසුවාය.

ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් ද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුකරය විභාගය සඳහා නොවැම්බර් මස 16 වනදා කැඳවන ලෙස නියම කළාය.

ශ්‍රී ලංකාවේ රගර් ක්‍රීඩාව දියුණු කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබාගෙන සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකළේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.